මුස්ලිම් සමාජයේ පුරුෂාධිපත්‍යය: ‘අයිතීන් දිනාගැනීමට නම් කාන්තාවත් වෙනස්විය යුතුයි’
ලිංගිකත්වය මත පදනම්ව, ආගමික සංස්ථා තුළ තමන්ට “දෙවෙනි පෙළ පුරවැසියන්,” ලෙසින් සලකන බව පවසමින් ලොව පුරා දහස් සංඛ්‍යාත කාන්තාවෝ එයට එරෙහිව සටන් වැදී සිටිති.
භික්ෂු නායකත්වයෙන් කෙරෙන නොසලකා හැරීම්වලට එරෙහිව ශ්‍රී ලංකාවේ බොහෝ භික්ෂුණීහු ද එසේ අරගලයක නිරතව සිටිති.
කතෝලික සභාවේ පුරුෂාධිපත්‍යයට එරෙහිව සටන් කරන පූජකවරියක ගැනත් බීබීසී සිංහල සේවය මීට ඉහතදී හෙළි කළේය.
මේ, මුස්ලිම් සමාජයේ පුරුෂාධිපතිවාදී ආකල්පවලට එරෙහිව අරගලයක නිරතව සිටින මුස්ලිම් කාන්තාවක ගැන කතාවකි.
‘මුස්ලිම් කාන්තාවෝ කොන් කරලා’
මුස්ලිම් සහ බෞද්ධ දෙමාපිය යුවලකට දාව ශ්‍රී ලංකාවේ උපත ලැබූ නීතිවේදිනී සොරායා මරික්කාර් ඩීන්, සම්මානලාභී ජාත්‍යන්තර ක්‍රියාකාරිනියක සහ ප්‍රජා සංවිධායකවරියකි.
ක්‍රිස්තියානි හා මුස්ලිම් ප්‍රජාවන් අතර සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් නඩීන් පාර් (Nadyne Parr) නම් ක්‍රිස්තියානි මිතුරිය සමඟ එක්ව පිහිටුවන ලද Peacemoms සංවිධානයේ සහ Muslim Women Speakers සංවිධානයේ සම නිර්මාතෘවරිය වන ඇය, කොරෝනාවෛරස වසංගතය සමයේ Wisdom Women නමින් කාන්තාව දිරිමත් කිරීමේ වැඩසටහනක් ද දියත්කොට තිබේ.
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන සොරායා ඩීන්, සිය ප්‍රජාවට එරෙහිව එල්ලවන පීඩනය ගැන මෙන්ම මුස්ලිම් ප්‍රජාව තුළින්ම කාන්තාව නොසලකා හැරීමට එරෙහිව ද හඬ නගන ක්‍රියාධාරිනියකි.
වරෙක ඇය “ඇමෙරිකාව තුළ මුස්ලිම්වරයෙකු වීම” මැයෙන් දහසක පිරිසකට දේශනයක් පැවැත්වීම පිණිස සැතපුම් දහසක් රිය පදවමින් ඔරෙගන් ප්‍රදේශය බලා ගියාය.
“ඒ කාලේ වගේ තමයි මට වැටහෙන්න පටන් ගත්තේ මුස්ලිම්වරු හැටියට අපිටත් තව ගොඩක් දේ කරන්න තියෙනව කියල,” ඇය බීබීසී සිංහල සේවය සම අදහස් දක්වමින් කියා සිටියාය.
“අපේ කාන්තාවෝ එහෙම පිටින්ම කොන්කරලා. මුස්ලිම් සමාජය තුළ දරුණු විදියට පුරුෂාධිපත්‍යය මුල් බැහැගෙන. ඒ නිසා දෙවියන් එක්ක තමන්ට සම්පූර්ණ අධිපතිවාදී ගනුදෙනුවක් තියනවයි කියල පුරුෂයන් කියන මේ පුරුෂාධිපත්‍යය කඩා විසුරුවන්න බොහෝ දේ කළ යුතුව තියෙනවා.”
‘කුරානයේ එහෙම කියල නෑ’
සොරායා ඩීන් මතුකරන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුනීර් මුලාෆර් මවුලවිවරයා පවසන්නේ, අදින් දශක දෙකකට පමණ ඉහත දක්වා පැවතුනේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන් අධ්‍යාපනය වෙත යොමු නොකෙරෙන හෝ අධ්‍යාපනය නොලැබෙන වාතාවරණයක් බවය.
“අපේ අම්මලාගේ පරම්පරාවේ තිබුණේ එහෙම තත්ත්වයක්, හැබැයි අද තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත. අද අධ්‍යාපනයට වැඩියෙන්ම යොමුවෙලා තියෙන්නේ මුස්ලිම් පුරුෂයන් නෙමෙයි, කාන්තාව,” යනුවෙන් මවුලවිවරයා බීබීසී සිංහල සේවය සමග පැවසීය.
ඔහු පවසන්නේ, ‘සුලු අඩුපාඩු’ තිබිය හැකි වුවත්, මේ තත්ත්වය යටතේ මීට ඉහතදී මුස්ලිම් කාන්තාවන්ට තිබුණ බාධාවන් දැන් ක්‍රමයෙන් ලිහිල් වෙමින් පවතින බවය.
“කාන්තාව පුරුෂයා යටතේ ඉන්න ඕනේ කියල ආගමේ කිසිම තැනක නෑ. ගෘහය තුළ, පවුලේ මූලිකයෙක් ඉන්න ඕන නිසා ශුද්ධ වූ කුරානයේ ඒක පැහැදිලි කරලා තියෙනව,” මුනීර් මුලාෆර් මවුලවිවරයා පැවසීය.
“තවමත් ගෝත්‍රික මානසිකත්වය තියෙන ඉතා සුළු පිරිසක් ඉන්න පුළුවන් නමුත් බහුතරය දැන් වෙනස් වෙලා.”
කෙසේ වුවත් සොරායා පවසන්නේ, ලොව බොහෝ මුස්ලිම් සමාජයේ ඇතැම් පුරුෂයන් තවමත් හත්වෙනි ශතවර්ෂයේ ක්‍රමවේදයන්හි එල්බ සිටින බවය.
“දවසක් පුරුෂයන් සහ කාන්තාවන් දෙගොල්ලම හිටපු කාන්තා මුස්ලිම් පල්ලියක යාඥාව මෙහෙයවන්න කියල මට ආරාධනා කළාම කාන්තාවක් යාඥාවක් මෙහෙයවන එක ‘හරාම්’ කියල ඉස්සෙල්ලම කියන්න ගත්තේ පුරුෂයෝ නෙවෙයි, සමහර කාන්තාවෝ,” සොරායා සිහිපත් කරන්නීය.
මුස්ලිම් සමාජය තුළ පවතින පුරුෂාධිපත්‍යයට අභියෝග කිරීමට නම් මුලින්ම කාන්තාවන්ගේ ආකල්ප වෙනස්විය යුතු බව දැඩිව විශ්වාස කරන සොරායා, කොරෝනා වසංගතය ලෝකය වෙලාගැනීමට ප්‍රථම නායකත්ව වැඩමුළු මෙහෙයවීම පිණිස ලොව පුරා සංචාරය කළාය.
ඇය පවසන්නේ, “පුරුෂයන්ට වඩා තමන් පහත්ය කියන මානසිකත්වය සමාජයේ බොහෝ කාන්තාවන් තුළ දැඩිව මුල් බැසගෙන තිබෙන,” අයුරු නයිජීරියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල තමන් කළ සංචාරවලදී පෙනී ගිය බවය.
හිස් පළඳනාව අනිවාර්යද?
මුස්ලිම් හිස් පළඳනාව යනු පූර්ව-ඉස්ලාම් යුගයට අයත් ඇඳුමක් බව පවසන සොරායා අවධාරණය කරන්නේ එය කිසිසේත්ම ඉස්ලාම් ධර්මය හා සම්බන්ධ වූවක් නොවන බවය.
එබැවින් ඇය ආගමේ නාමයෙන් මුහුණු ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කරන්නීය.
“ඒක ගැන කුරානයේ කිසිම තැනක කිසිම සඳහනක් නෑ. කුරානයේ තියෙන්නේ විනීත විදියට ඇඳුම් අඳින්න කියල විතරයි.”
මුනීර් මුලාෆර් මවුලවිවරයා පවසන පරිදි කාන්තාවන් සහ පුරුෂයන් සැරසිය යුතු ඇඳුම් පිළිබඳව ඉස්ලාම් නීතිය තුළ සටහන් වී තිබේ. ඔහු පවසන්නේ, විශේෂයෙන්ම කාන්තාවගේ මුහුණ සහ අත් හැරුණු විට ශරීරයේ අනෙක් ප්‍රදේශ ආවරණය විය යුතු යයි එහි සඳහන් වන බවය.
“ඒත් මම ඉන්නේ ඊට වඩා ලිහිල් ප්රතිපත්තියක. කාන්තාවට යෝජනා කරන්න පුළුවන් ඇඳුම මේ විදියට විය යුතුයි කියල, ඒත් ඒක කාන්තාව සතු අයිතියක්,” මුනීර මුලාෆර් මවුලවිවරයා පැවසීය.
“කොහොම වුණත් ඇඳුමෙන් කෙනෙකුගේ දැහැමි බව මනින්න පුළුවන් කියල මම පිළිගන්නේ නෑ.”
දේපොළ හිමිකම්
මුස්ලිම් කාන්තා අයිතීන් පිළිබඳ තවත් අංශයක් ද සොරාය ඩීන් පෙන්වාදෙයි. ඇය පවසන්නේ, කාන්තා අයිතීන් උදෙසා කෙරෙන සටන සමානාත්මතාව පිළිබඳ කරුණක් පමණක් නොව දේපොළ හිමිකම් පිළිබඳ අරගලයක් ද බවය. “මුස්ලිම් කාන්තාවන්ට තියන පොහොසත්ම තැන තමා සුසාන භූමිය. මුස්ලිම් කාන්තාවෝ සුසාන භූමියේ භූමදානය කරන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ එයාල එක්ක බෙදාගත්තේ නැති තෑගි, කනකර විතරක් නෙමෙයි එයාලගේ දක්ෂතා වගේම හැකියාවනුත් එක්ක.”