“හිතුමතේ ජීවිතේ” සිනමාහලට පැමිණෙන ලකුණු

“හිතුමතේ ජීවිතේ” සිනමාහලට පැමිණෙන ලකුණු

ක්‍රිෂාන්ත මනම්පේරි අධ්‍යක්ෂණය කළ, දිනෙත් ද සිල්වා ප්‍රධාන චරිතයට පණ පොවන, “හිතුමතේ ජීවිතේ” සිනමාපටය පසුගිය කාල වකවානුව පුරාම මෙරට සිනමා රසිකයින් බොහොම බලාපොරොත්තුවෙන් සිටි සිංහල සිනමා නිර්මාණයක්. චිත්‍රපටයට පාදක කරගත් කතා තේමාව කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වීම නිසත්, එහි සත්‍ය අසත්‍යතාවය ගැන බොහෝ දෙනෙකු තුළ කුකුසක් පවතින නිසාත් “හිතුමතේ ජීවිතේ” සිනමාපටය විශාල කාලයක් තිස්සේ මෙරට සිනමා රසිකාගාරයේ අවධානය දිනා ගත්තා.

හිතුමතේ ජීවිතේ සිනමාපටය නිර්මාණය කර තිබෙන්නේ මෑතකාලීන ලාංකීය ඉතිහාසය තුළ සිදු වූ අභාග්‍යසම්පන්න සහ සත්‍ය සිදුවීමක් ආශ්‍රය කරගෙනයි. ඒ සත්‍ය සිදුවීම අනුසාරයෙන් උදේනි සමන් කුමාර විසින් රචිත “හිතුමතේ ජීවිතේ” නැමැති ග්‍රන්ථය පාදක කරගෙන මෙම සිනමාපටයේ තිර පිටපත රචනා කර තිබෙනවා. සිනමාපටයේ කතා තේමාව ගොඩ නැඟී තිබෙන්නේ කළුතර ප්‍රදේශයේ ගම්මානයක ජීවත් වූ දුප්පත් තරුණියක දූෂණය කර, මරා දැමූ ඝාතකයින් පිරිසක් සහ ඔවුන් වටා හඹා යන එම තරුණියගේ සොහොයුරා අතර සිදු වන සිද්ධි දාමයක් මුල් කරගෙනයි. ‍

2019 වර්ෂයේදී වැඩ නිම කළ හිතුමතේ ජීවිතේ සිනමාපටය මීට මාස කිහිපයකට පෙර තිරගත කරන්නට තිබුණත්, කෝවිඩ් වසංගතය සහ තවත් හේතු නිසා එහි ප්‍රදර්ශනය කල් ගියා. නමුත් ඒ සියලුම බාධක මඟ හරවමින් එළඹෙන අප්‍රියෙල්-මැයි කාල සීමාව තුළදී මෙහි සිනමාශාලා ප්‍රදර්ශනය අරඹන්නට සූදානම් බවත් ඇතැම් ආරංචි මාර්ග පවසනවා.

පහතින් දක්වා තිබෙන්නේ හිතුමතේ ජීවිතේ සිනමාපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයයි.