ලංගම සේවකයෝ සියලු සේවාවලින් ඉවත් වෙයි – පෞද්ගලික බස් රථවලටත් තෙල් නැතිවෙයි

ලංගම සේවකයෝ සියලු සේවාවලින් ඉවත් වෙයි – පෞද්ගලික බස් රථවලටත් තෙල් නැතිවෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සපයනු ලබන සියලු සේවාවලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංගම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.

පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ සභාපති නුරන්ජිත් සිං ප්‍රකාශ කළේ, ශ්‍රී ලංගම සේවකයින්ට සේවයට වාර්තා කිරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව, රෝහල්වලට සහ ගිලන් රථවලට ඉන්ධන නිකුත් කිරීම හැර පෞද්ගලික බස් රථවලට ඉන්ධන නිකුත් කිරීම ඇතුළු සියලු සේවාවලින් ලංගම සේවකකයින් ඉවත් වන බව ඔහු පැවසීය.

සේවකයින්ට සේවයට වාර්තා කිරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලබා දෙන ලෙස මාස දෙකක කාලයක සිට බලධාරීන් දැනුවත් කළ ද ඊට මෙතෙක් සාධනීය පිළිතුරක් නොලැබී ඇතැයි ඔහු පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, අද ( 8) පස්වරු 2.00ට මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බව ත් එහිදී නිසි පිළිතුරක් ලැබුණහොත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කිරීමට පියවර ගන්නා බව සභාපති පැවසීය.

ඔහු අවධාරණය කළේ, සිය ගැටලුවට නිසි පිළිතුරක් නොලැබෙන්නේ නම්, වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ය.