බුකර් සම්මානය කෙටි ලයිස්තුවට ශෙහාන් කරුණාතිලක නිර්දේශ වෙයි
ශ්‍රී ලාංකීය නවකතාකරුවෙකු වන ශෙහාන් කරුණාතිලක විසින් ලියූ “The seven Moons of Maali Almeida” කෘතිය 2022 බුකර් සම්මානයට කෙටි ලැයිස්තුගත වී තිබේ.
ඒ අනුව, පිට පිට වසර දෙකක් තුළ ශ්‍රී ලාංකීය ලේඛකයන් දෙදෙනෙකු මෙම සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත වූ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර අනුක් අරුද්ප්‍රගාසම් රචනා කළ “A Passage North” කෘතිය 2021 බුකර් ත්‍යාගයේ අවසන් වටයේ නිර්දේශිත කෘති 6 අතරට සුදුසුකම් ලැබීය.
බුකර් ත්‍යාගය 2022 සඳහා කෙටි ලැයිස්තු ගතවූ කෘති 6 අතරට නොවයලට් බුලාවයෝ ගේ Glory, පර්සිවල් එවරට් ගේ The Trees, ඇලන් ගානර් ගේ Treacle Walker, ක්ලෙයා කේගන් ගේ Small Things Like These, එලිසබෙත් ස්ට්‍රවුට් ගේ Oh William! යන කෘති ඇතුලත්වේ.
87 හැවිරිදි බ්‍රිතාන්‍ය ලේඛක ඇලන් ගානර් කීර්තිමත් බුකර් ත්‍යාගය සඳහා කෙටි ලැයිස්තු ගත වූ වයස්ගතම ලේඛකයා බවට ඒ අනුව පත්ව ඇත. එසේම, ක්ලෙයා කේගන් ගේ Small Things Like These කෘතිය මේතාක් බුකර් සම්මාන නිර්දේශ ලැබූ කෙටිම නවකතාව වීම විශේෂත්වයකි.
ශෙහාන් කරුණාතිලක විසින් රචිත Chinaman: The Legend of Pradeep Mathew නම් නවකතාව 2008 දී ග්‍රේෂියන් ත්‍යාගය, 2010 දී පොදු රාජ්‍ය මණ්ඩලීය කෘති සඳහා වූ ත්‍යාගය සහ 2012 දී දකුණු ආසියානු සාහිත්‍ය සඳහා පිරිනැමෙන DSC ත්‍යාගය හිමිකරගෙන තිබේ. “The seven Moons of Maali Almeida” ඔහුගේ දෙවැනි නවකතාවයි.
එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත නවකතා බුකර් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන අතර ඕනෑම රටක ලේඛකයෙක්ට එය විවෘත වේ.
මෙවර බුකර් ත්‍යාගයේ ජයග්‍රාහකයා ඔක්තෝබර් 17 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිත ය.