කලා ලෝකයේ සගයා වෙනුවෙන් සමනලීගෙන් සංවේදී සටහනක්

කලා ලෝකයේ සගයා වෙනුවෙන් සමනලීගෙන් සංවේදී සටහනක්

පසුගියදා (02) කලා ලෝකයම සහ ඔහුට ආදරය කරපු රසික ජනතාව හඬවමින් සමුගත් සම්මානනීය සිනමා නළු දර්ශන් ධර්මරාජ්ගේ දේහයේ අවසන් කටයුතු අද (05) ඔහු උපන් ගම වන රක්වානදී සිදුකෙරෙනවා.

ඔහුගේ වෙන්ව යෑම කලා ලෝකයට මෙන්ම ඔහුට ආදරය කරපු රසිකයින් කම්පනයට පත් කළ පුවතක්.

ඔහු සමඟ කලා ලෝකයේ පමණක් නොව සැබෑ ජීවිතයේද සමීපව කටයුතු කළ යෙහෙළියක් හැටියට ප්‍රවීන රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා හඳුන්වන්න පුළුවන්.

දර්ශන්ගේ නික්ම යෑම ගැන සමනලී අද ඔහුගේ අවසන් කටයුතු සිදුකරන දින මෙසේ සටහනක් පළ කර තිබුණා.

“මනුස්සයෙක් ඔහේ එකපාරම මැරිල යන්නෙ නෑ කියලයි මම නම් හිතන්නේ. ඒ වුණාට අපි ටිකෙන් ටික මිය යමින් පවතිනවා. හොඳම යාළුවෙක් වෙන් වෙලා යනකොට අපෙන් කොටසක් මිය යනවා. ආදරවන්තිය සමු ගන්නකොට තව කොටසක් මිය යනවා. අපේ හීන ගොන්නේ හීනයක් බොඳවෙලා මැකිලා යනකොට තව කොටසක් මිය යනවා. ඔය විදියට අන්තිමේ මරණය පැමිණෙන දවසක අපි දකින්නේ ටිකෙන් ටික බොහෝ කාලයකට පෙර මියගිය අපේ කොටස්. ඉතින් අපි කරන්නේ ඒ කැබලි එකතු කරගෙන සමුගෙන යන එක විතරයි…!” යනුවෙන් සටහනක් සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබුණා.