විජය අද සිටියානම් 77යි

විජය අද සිටියානම් 77යි

දිවයිනේ ජනප්‍රියතම සිනමා නළුවා ලෙසත්, කෘතහස්ත ගායකයකු ලෙසත්, ලාංකීය ජනතාව අතර සදා නිධන් ගත වූ මානව හිතවාදී කලාකරුවකු වන විජය කුමාරතුංගයන්ගේ 77 වැනි ජන්ම දිනය අද (9) යෙදී තිබේ.

සිංහල සිනමාවේ ප්‍රේමාන්විත නළුවන් අතර විජය කුමාරතුංග කියන නම අමතක කරන්නම බැරි චරිතයක්. කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග ලෙස උප්පැන්න සහතිකේ සඳහන් වුනත් හැමෝම ආදරෙන් ඔහුව ආමන්ත්‍රණය කළේ විජය කුමාරතුංග යන නමින්. 1945 ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහල දී උපත ලැබූ විජයගේ පියා ගම්මුලාදෑනියෙකු වූ කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග වන අතර මව බියට්‍රිස් කුමාරණතුංග.

පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකු අතරේ හැදුනු විජය අධ්‍යාපනය ලැබුවේ සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන්.

සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව සිනමා නිර්මාණය ඔස්සේ සිංහල සිනමාවට පිවිසෙන විජය එතැන් සිට සිංහල සිනමාව දිග්විජය කළ අපූරු චරිතයක් බවට පත් වෙනවා.

හන්තානේ කතාව චිත්‍රපටිය තුළින් විශ්වවිද්‍යාල තරුණයෙක් ලෙස රංගනයෙන් දායක වු විජයගේ පියකරු මුහුණ, රැළි සහිත කොණ්ඩය, තරුණ පෙම්වතෙකුගේ සුකුමාර බව, කෙළිලොල් බව මෙරට සිනමා රසිකයින්ගේ නෙත් සිත් අමන්දානන්දයට පත්කරනවා. එතැන් පටන් ඔහු සිංහල සිනමාව දිග්විජය කරමින් ප්‍රියංගා, රන් ඔන්චිල්ලා, හතර දෙනාම සූරයෝ, අභිරහස, කේසර සිංහයෝ, බිදුණු හදවත්, එදත් සූරයා අදත් සූරයා, ක්‍රිස්තු චරිතය, අහස් ගව්ව, සිකුරුලියා, තුෂාරා, මේ දෑස කුමටද, හතරදෙනාම සුරයෝ, සංගීතා, මමයි රජා, හිඟන කොල්ලා, මරුවා සමඟ වාසේ, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, ගඟ අද්දර, බැද්දේගම, කැඩපතක ඡායා, ජය සිකුරුයි, ගීතිකා, විස්මය, අනුපමා, බැද්දේගම, යුගයෙන් යුගයට, අහිංසා ආදී සිනමා නිර්මාණ 110කට අධික සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබා දෙනවා. එසේම ඔහුගේ සිනමා දිවියේ දී “ගෝඩ් කින්ග්” නම් බටහිර චිත්‍රපටියක මෙන්ම “නන්ගුරාන්” නැමැති දමිල චිත්‍රපටියක ද දස්කම් පෑමට සමත් වෙනවා.

1983 සිට 1988 දක්වා අඛණ්ඩව වසර 05ක්ම ජනප්‍රිය නළුවා සම්මානය හිමිකරගත් විජය රංගනයට මෙන්ම ගායනයට ද සමත්කම් දක්වනවා. දොළොස්මහේ පහන වැනි චිත්‍රපටවල හොඳම ගායකයා සම්මානය ලැබීමට තරම් ඔහු දක්ෂයෙකු වෙනවා. එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩියි. ඔහුගේ ගීත කැසට්පට තුළින් ද රසිකයන් අතරට ලැබුණා. ඔහු ගැයූ ගී අතර ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රෝස ගහ ළඟ යන ගීත අතිශය ජනප්‍රිය වුණා.

විජය 1978 පෙබරවාරී 20 දින මෙරට අගමැතිවරයෙකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනවිය සමඟ විවාහ වෙනවා. විජය – චන්ද්‍රිකාගේ පුංචි පවුල තවත් ලස්සන කරන්නේ ඔවුන් දෙදෙනාගේ දියණිය සහ පුතාය. ඒ යශෝදරා කුමාරතුංග සහ විමුක්ති කුමාරතුංගයි. ලංකාවේ ප්‍රබල දේශපාලන පවුලකින් විවාහ වූ විජය සිනමාව මෙන්ම දේශපාලනයට ද පිවිසෙන්නේ මේ අතරතුරය.

ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලන දිවිය ඇරඹූ විජය 1977 මහමැතිවරණයෙන් කටාන ආසනය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. එහිදී ඔහු මනාප 19738ක් ලබා ගන්නත් සමත් වෙනවා. ඒ වගේම 1982 දී හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ජනාධිපතිවරණයෙන් දිනවීම සඳහා නැවතත් දේශපාලනයට පිවිසෙන විජයට අවසානයේ හිරගෙදරට පවා යන්නට සිද්ද වෙනවා. හිරේ දැම්මත් ඔහුගේ දේශපාලන ජීවිතය නවත්වන්න කාටවත් බැරි වුණා.

විජය කියන්නේ සිනමාවට මෙන්ම ජනතාවට ද ආදරය කළ චරිතයක්. ඔහු ජීවත්වන කාලය තුළ මෙරට ඇති වී තිබූ ත්‍රස්ත්‍රවාදයට පිළිතුරු හොයන්න වගේම නිවහල් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නිරතුරුවම කැප වුණු නායකයෙක්. නමුත් අවාසනාවට දේශපාලනයෙන් විජයට හිමි වෙන්නේ මරණය පමණයි. 1988 පෙබරවාරි 16 දින දහවල් ලයනල් රණසිංහ හෙවත් ගාමිණී නැමැති පුද්ගලයා ටී 56 ගිණි අවියකින් වෙඩිතබා ඝාතනය කරා යැයි කටකතා සමාජය තුළ පැතිරුනා. නමුත් තවමත් ඔහුගේ සැබෑ ඝාතකයා සොයාගැනීමට අපොහොසත් වී තිබෙනවා.

අසහාය නළුවෙක් මෙන්ම මානව හිතවාදී නායකයෙකු ලෙස විජය මෙරටට සිදුකළ සේවය කවදාවත් අමතක කරන්න බැහැ. ඔහු මියගියත් තවමත් රසික හදවත් තුළ අමරණීය චරිතයක් ලෙස ජීවමානව ඉන්නවා.

මේ අතර 1984 වසරේ දී විජය කුමාරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ටී. බී. ඉලංගරත්න, චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක, ප්‍රේමදාස උඩගම, ඔසී අබේගුණසේකර ඇතුළු පිරිසකගේ එකතුවෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහි කිරීමෙන් අනතුරුව එහි නිල පුවත්පත ලෙස ආරම්භ කොට පවත්වාගෙන එමින් පසුව අක්‍රීය වූ ‘ඇස පුවත්පත’ අද (9දා) මාසික ප්‍රකාශනයක් ලෙසින නැවත එළිදැක්වීම පොල්හේන්ගොඩ කුමාරතුංග ඝාතනය සිදු වූ ස්ථානය අසලදී සිදු වේ.

එදා මෙදාතුර ශ්‍රී ලාංකික ජනතා සිත්සතන් තුළ නොනැසෙන ප්‍රසාදයක් හිමි කර ගනිමින් සිංහල සිනමාවේ වාණිජ මෙන්ම සම්භාව්‍ය අංශ දෙකම අතික්‍රමණය කළ රංගධරයා වූ විජය කුමාරතුංගයන්ගේ 77 වන උපන් දිනය යෙදෙන මෙදින එළිදැක්වෙන ඇස පුවත්පතේ පළමු කලාපය ඒ මහතාට උපහාර පිණිස වෙන්කොට ඇත.

මේ අවස්ථාවට පූජ්‍ය පක්ෂය ප්‍රධාන කොට පක්ෂ නායකයන්, මැති ඇමැතිවරුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නව නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා පැවසීය.