ජ්‍යෙෂ්ඨ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවියෙන් සමුගනී

ජ්‍යෙෂ්ඨ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවියෙන් සමුගනී

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා අද (01) උදෑසන ජාඇල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු ඒ වන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවිය.

1940 වසරේ සැප්තැම්බර් 20වනදා උපත දල ඒ මහතා මහනුවර ධර්මාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

1969 වසරේ රැයත් දවාලත් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඒ මහතා සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ “හන්තානෙ කතාව”, ධර්මසේන පතිරාජයන්ගේ “අහස් ගව්ව” සහ “බඹරු ඇවිත්” යන චිත්‍රපටවල ඔහු විසින් ප්‍රකට කරන ලද රංගනය එතෙක් සිනමාව තුළ ‘නළුවා’ යන්න වටා ගොඩ නැගී තිබූ සීමාව පුළුල් කරන්නක් වුණා.

ඊට අමතරව “අක්කර පහ”, “නිම් වළල්ල” වැනි චිත්‍රපටවලින් ද ඔහුගේ රංගන දක්ෂතා විෂද කෙරුණු අතර “බඹරු ඇවිත්” හි සනත්, “පොඩි මල්ලි” හි බර්ටි, “අනූපමා” හි රජී අයියා, “අපේක්ෂා” හි නිමල්, “පරිත්‍යාගය” හි ධානප්‍රේම, “සිංහබාහු” හි සිංහබාහු, “යස ඉසුරු” හි සුරංග, “පෙම් රජ දහන” හි සාජන්ට් ජයතිලක සහ “වජිරා” හි නිමල් වැනි චරිත ඔහුව සිංහල සිනමා රසික හදවත් තුළ අමරණීය කරවූ චරිතයි.

මේ අතර ධර්මසිරි ගමගේ ගේ “පූජා” චිත්‍රපටයේ දී අළුගෝසුවා ලෙස රඟ පෑ ජෝ අබේවික්‍රමගේ පුත්‍රයාගේ චරිතය රඟපාමින් අමරසිරි කලංසූරිය විසින් නිරූපණය කළ අනුවේදනීය චරිතය ද සිංහල සිනමාවේ නොමැකෙන චරිතයක් වී හමාරයි.

සිංහල සිනමාවේ පමණක් නොව මෙරට පළමු ටෙලිනාට්‍ය වූ “දිමුතු මුතු” හි ජයසේනගේ චරිතය නිරූපණය කළ අමරසිරි කලංසූරිය ඉතිහාසයට එක් වන්නේ මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය නළුවා ලෙසයි.

දීපශිකා, සරසවි, ජනාධිපති, ස්වර්ණ සංඛ සහ සිග්නීස් සම්මානලාභියෙකු වූ මෙම රංගධරයා 2004 වසරේ දී සිග්නීස් සම්මාන උළෙලේ යාවජීව ගෞරව සම්මානයට පාත්‍ර වූයේ ඔහු සිංහල සිනමාව තුළ ලකුණු කළ නොමැකෙන ලක්ෂයන් ආලෝකමත් කරමින්.

අභවප්‍රාප්ත අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.