මුතු රාජා හෙට තායිලන්තයට

මුතු රාජා හෙට තායිලන්තයට

‍තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු සක් සුරින් හෙවත් මුතු රාජා හස්තියා හෙට (02) යළි තායිලන්තයට රැගෙන යාමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ තායිලන්තයේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයක් මගින් මෙම හස්තියා යළි රැගෙන යාමට නියමිත බවය.

2001 වසරේදී මෙම සක් සුරීන් නැමැති හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තායිලන්ත රජය පියවර ගෙන තිබුණි.

එහෙත් මෙම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කළේය.

අලුත්ගම කන්දේ විහාරයේ රඳවා සිටි මෙම සක් සුරින් නැමැති හස්තියා තායිලන්තයට රැගෙන යාම සඳහා ඉල්ලා සිටීමෙන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් තිබුණි.

පසුගිය නොවැම්බර් මාසයේදී සත්වෝද්‍යානයට රැගෙන ආ සක්සුරින් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට තායිලන්ත පශු වෛද්‍ය කණ්ඩායමක් සහ ඇත් ගොව්වෙකු ලංකාවට පැමිණ සිටි අතර පසුගිය සතියේ ද තායිලන්තයේ පිරිසක් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මෙරටට පැමිණ තිබුණි.

මුතු රාජා ඇතා, යළි රැගෙන යාම සඳහා රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මේවන විට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

මුතු රාජා ඇතා රැගත් මෙම රුසියානු ගුවන් යානය හෙට අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්වයාමට නියමිත බව සඳහන් වේ.