ඩෙංගු යළි හිස ඔසවයි

ඩෙංගු යළි හිස ඔසවයි

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන් ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව, එම මාසයේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 2,003 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

පසුගිය මාසවලට සාපේක්ෂ ව එම මාසය තුළ ඩෙංගු රෝගීන් ගේ පහළ යෑමක් පෙන්නුම් කරනු ඇති බව සෞඛ්‍ය අංශ මීට පෙර පුරෝකථනය කර තිබිණි.

එහෙත් එම මස තුන් වැනි සතිය වනවිට ඩෙංගු රෝගීන් ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සඳහන්ය.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,881 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඩෙංගු අධිඅවදානම් කලාප මේ වනවිට 07ක් දක්වා පහළ ගොස් තිබුණ ද පවතින වර්ෂාපතනය හමුවේ එය තවදුරටත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.