ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යයි (Photos)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යයි (Photos)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් දින ලෝක ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට ඊයේ (26) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

නිලධාරීන් , පුහුණුකරුවන් , ක්‍රීඩකයින් ඇතුළු 35 දෙනෙකුගෙන් යුතු පිරිසක් මේ සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරුණේ, ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන්නට පැය කිහිපයකට පෙරයි.

ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණියේ ප්‍රධානතම තුරුම්පුව වන වනිඳු හසරංගට ආබාධයක් හේතුවෙන් මෙවර ලෝක කුසලානය අහිමිව යාමත් කැපී පෙනෙනවා.

එහෙත් තරගාවලිය අතරතුරදී සුවය ලබා ඇති බවට වනිඳු ප්‍රකාශ කළහොත් සංචිතයට එක්වීමේ අවස්ථාව ඔහුට විවෘත කොට ඇත. එවැනි අවස්ථාවකදී ආබාධ තත්ත්වයේ පසුවන ක්‍රීඩකයෙකු වෙනුවට ආදේශ කරනු ලබන්නේ වනිඳු හසරංග බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටී.

සංචිතයේ නිත්‍ය ක්‍රීඩකයින් 15 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයෙකු ලෙස චාමික කරුණාරත්න සංචාරයට සහභාගී වේ.

ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය මෙසේය:

දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුෂාන් හේමන්ත, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, මතීෂ පතිරණ, ළහිරු කුමාර, ඩිල්ෂාන් මධුෂංක, අතිරේක – චාමික කරුණාරත්න