හදවත් රෝගීන් ඉහළට – අද ලෝක හදවත් දිනයයි

හදවත් රෝගීන් ඉහළට – අද ලෝක හදවත් දිනයයි

ලෝක හදවත් දිනය’ අදට (29) යෙදී ඇත. හෘදයාබාධ හේතුවෙන් මරණයට පත් වන සහ රෝහල්ගත වන සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයේ අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් මහත්මිය පැවසුවාය.

වසර 2020දී රජයේ රෝහල්වල සිදු වූ මරණවලින් සියයට 52ක් හෘදයාබාධ හේතුවෙන් සිදු වූ බවත් වයස අවුරුදු 18ත් – 28ත් අතර සහ වයස අවුරුදු 29ත් – 39ත් අතර කාන්තා පිරිමි දෙපිරිසම හෘදයාබාධවලට ලක් වන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව පෙරේදා (27) පැවසුවාය.

හෘද රෝගියකු කඩිනමින් හඳුනා ගන්නා ආකාරය පාසල් විෂය නිර්දේශයට එකතු කළ යුතු බවත් ඇතැම් අනවශ්‍ය දේවල් විෂය නිර්දේශයන්ට ඇතුළත් කර ඇති බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.

රුධිරගත කොලෙස්ටරෝල් නැතහොත් තෙල් ප්‍රමාණය වැඩි වීම, අධික රුධිර පීඩනය ද හෘදය රෝගයක් ඇති වීමට ප්‍රධාන හේතු වෙනවා. මීට අමතරව ජානමය තත්ත්වයන් ද මීට බලපෑ හැකියි.

ශබ්ද දූෂණය හෘදය රෝග ඇති වීමට බලපාන එක් ප්‍රධාන හේතුවක් බව නවතම සොයාගැනීමක්. එමෙන්ම, සමාජයීය හා මානසික ආතතිය නිසා ද පුද්ගලයන් හෘදයාබාධවලට ලක් වෙනවා.

ශරීරයේ ඇති වන වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ මහන්සිය, බඩ පුරවා දැමීම, වම් අත දිගේ එන වේදනාව, උගුර සහ කන හිර වීම යන රෝග ලක්ෂණ හෘදයාබාධයක රෝග ලක්ෂණ බව සිහි තබා ගත යුතුයි.