ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළට

ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළට

අධික වැසි සහිත කාලගුණය සමඟ ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

නිල්වලා ගඟේ ජල මට්ටම තල්ගහගොඩ ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින අතර, අවසන් වරට ජල මාපාංකයේ සටහන්ව ඇත්තේ මීටර් 1.87ක අගයක්.

මෙහි අගය මීටර් 2.80ක් දක්වා වර්ධනය වුවහොත්, මහා ගංවතුර තත්ත්වයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව වාර්තා වෙනවා.

වලවේ ගගේ ජල මට්ටම අඩි 4කින් පමණ ඉහළගොස් ඇති බව හම්බන්තොට වාරිමාර්ග ඉංජිනේරු මාලා සමරක්කොඩි ප්‍රකාශ කළා.

චන්ද්‍රිකා වැව වසර 20 කට පසු වාන් දැමීම හේතුවෙන් එම ජලය හුලංදාව ඔය හරහා වලවේ ගඟට එකතුවීමෙන් ගංගාවේ ජල මට්ටම මෙලෙස සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඌරුබොක්ක ගඟේද ජල මට්ටම ඉහළගොස් තිබෙනවා.

කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්, මගුරු ගඟ මගුර ප්‍රදේශයෙන්, කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ජල මට්ටම් ඉහළගොස් තිබෙන බව වැඩි දුරටත් වාර්තා වෙනවා.

මේ අතර ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම වර්ධනය වී තිබෙනවා.

එසේම පවතින අධික වැසි තත්ත්වයත් සමඟ අත්තනගල්ල ඔය දූනමලේ ප්‍රදේශයෙන් අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම වර්ධනය වී ඇති බව වාර්තා වෙනවා.