ගාසාවට ප්‍රහාර නිමාවක් නොමැතිවෙයි
ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ගාසා තීරයේ ‘අල්-ෂාටි‘සරණාගත කඳවුර ඇතුළු ඉලක්ක වෙත ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරවලින් පමණක් පලස්තීනුවන් 140 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය සති දෙකක කාලය තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති අතර, ඉන් 40%ක්, එනම් 2000ක් පමණ ළමයින් බව “සේව් ද චිල්රන්‘ ආයතනය සඳහන් කරනවා.
හමාස් සන්නද්ධ සාමාජිකයන් ඊශ්‍රායලයට ඇතුළු වී එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 1400ක්.
ඊශ්‍රායල හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් හර්සි හලෙවි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ගාසා තීරයට එල්ල කරන සිය ප්‍රහාර සංඛ්‍යාව අඩු කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි.
මේ අතර ඊශ්‍රායලයට ප්‍රංශයේ පූර්ණ සහයෝගය පළ කිරීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවේල් මැක්රොන්, ඊශ්‍රායලයේ ටේල් අවීව් නුවරට පැමිණ තිබෙනවා.
අමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විරළ අන්දමේ ප්‍රකාශයක් නිකුත් කළ හිටපු ජනාධිපති බරැක් ඔබාමා, හමාස් සංවිධානය මර්දනය කිරීම සඳහා ඊශ්‍රායලය පමණක් ඉක්මවා බලය යෙදවීම පිළිබඳ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
ලිඛිත නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ පලස්තීනුවන්ගේ මිනිස් ජීවිත නොතකා දරුණු ප්‍රහාර එල්ල කිරීමේ ඊශ්‍රායල ක්‍රමෝපාය දිගුකාලීනව ඊශ්‍රායලයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවයි.
ගාසා තීරයේ සිවිල් ජනතාවට ආහාර, ජලය හා විදුලි කපාහැරීම තුළින් එහි මානුෂීය අර්බුදය උත්සන්න වී ඇති බවත්, එය ඉදිරි පලස්තීන පරම්පරා ගණනාවක් ඊශ්‍රායලය කෙරෙහි දක්වන ආකල්පය දැඩි කිරීමට හේතුවනු ඇති බවත් හිටපු ජනපති බරැක් ඔබාමාගේ අදහස පලකර තිබෙනවා.
මේ අතර හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු මුදාහැර තිබෙනවා.
ඊශ්‍රායල කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස මුදාහැර ඇති අතර, ඔවුන් රතු අඩසඳ ව්‍යාපාරයේ වාහනයකට නංවා ගාසා තීරය සහ ඊජිප්තුව අතර පිහිටි රෆා පිවිසුම් දොරටුවෙන් මුදාහැර ඇති බව වාර්තා වෙනවා.
හමාස් සංවිධානය විසින් මෙලෙස නිදහස් කළ කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 85ක් සහ 79 ක් වන වයස්ගත කාන්තාවන් වන අතර, ඉන් එක් කාන්තාවක් ගාසා තීරයේ පලස්තීනුවන්ගේ සුබසාධනය උදෙසා කටයුතු කළ තැනැත්තියක බව වාර්තා වෙනවා.
ඊශ්‍රායලය ප්‍රකාශ කරන පරිදි හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් 220 දෙනෙකු ගාසා තීරයේ රඳවාගෙන සිටින බව වාර්තා වෙනවා.