ඊශ්‍රායලයෙන් තවත් මත ගැටුමක්

ඊශ්‍රායලයෙන් තවත් මත ගැටුමක්

ගාසා තීරය වෙත එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය හමුවේ ඊයේ (24) සාකච්ඡාවක් කර තිබෙනවා.

එම සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් අවධාරණය කළේ, ගාසා තීරයේ ජාත්‍යන්තර මානුෂීය නීතියේ පැහැදිලි උල්ලංඝනයන් පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

මහ ලේකම්වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එහිදී ඊශ්‍රායල නියෝජිතයන්ගෙන් එල්ල වූයේ ප්‍රබල විරෝධයක්.

එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල නියෝජිතයා අවධාරණය කළේ මහලේකම්වරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍ය ඊලායි කෝඑන්, හමාස් සංවිධානය වර්තමාන නාසිවරුන් ලෙස හැඳින් වූ අතර සටන් විරාමයක් ගැන කෙරෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල නියෝජිත ගිලාඩ් එර්ඩාන් ද සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

ඊශ්‍රායල – හමාස් සටනේ දරුණුතම ගුවන් ප්‍රහාරය ඊශ්‍රායලය විසින් ඊයේ (24) ගාසා තීරයට එල්ලකර තිබූ අතර එහි දී 700කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

පලස්තීන හමාස් සංවිධානය, ඊශ්‍රායලයට ප්‍රහාර ආරම්භ කිරීමත් සමග ඇරඹි ඊශ්‍රායල – ගාසා යුද ගැටුමට අදට දින 19ක්.

යුද ගැටුමෙන් දෙපාර්ශ්වයේම ජීවිත 7,200කට වැඩි ප්‍රමාණයක් අහිමි වී ඇති අතර ඉන් 5,800ක්ම පලස්තීන වැසියන්.

ගාසා තීරය වෙත එල්ල කරන ප්‍රහාර නවතා දමන ලෙස කරන ඉල්ලීම් නොතකමින් ගුවන් ප්‍රහාර තීව්‍රඑ කිරීමට ඊශ්‍රායල කටයුතු කරමින් සිටිනවා.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට සිදු කරන ආහාර, ජලය, ඉන්ධන සහ වෛද්‍ය පහසුකම් අත්හිටුවීමෙන් පසු දැන් රෝහල්වල හදිසි සේවා පවත්වා ගැනීම ද දුෂ්කර වී ඇති බව වාර්තා වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ ගාසා තීරයේ ඉන්ධන නොමැති වීම නිසා සිය මෙහෙයුම් අත්හිටුවීමට සිදුවන බවයි.

ආධාර රැගත් තවත් ලොරි රථ 08ක් ඊජිප්තුවේ රෆා පිවිසුම හරහා ගාසා තීරයට ඇතුළු වූවත්, ඒවායේ සැපයුම් කොහෙත්ම ප්‍රමාණවත් නොවන බව ජගත් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

එම සංවිධානය පෙන්වා දෙන්නේ ගාසා තීරයේ අත්‍යවශ්‍ය මෙහෙයුම් පවත්වාගැනීම සඳහා දිනකට ලොරි රථ 100ක පමණ සැපයුමක් අවශ්‍ය බවයි.

මේ අතර ඊශ්‍රායලයේ සංචාරයක නිරත වු ප්‍රංශ ජනාධිපති එමානුවේල් මැක්‍රෝන් ප්‍රකාශ කළේ හමාස් සංවිධානයට එරෙහි යුද්ධයේ දී ප්‍රංශය, ඊශ්‍රායලය සමග සිටින බවයි.

මේ අතර ජගත් මහලේකම්වරයා විසින් ඊශ්‍රායල ප්‍රහාර විවේචනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ජගත් මහලේකම්වරයා සමඟ නියමිතව හමුව අවලංගු කර ඇති බව වාර්තා වෙනවා

එමෙන්ම ගාසා තීරයට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට පැමිණීමට නොහැකිවෙන පරිදි ඔවුන්ට වීසා බලපත්‍ර නිකුත් කිරීම ඊශ්‍රායල විසින් අත්හිටුවා ඇතැයි වාර්තා වෙනවා.

එක්සත් ජාතීන්ගේ මානූෂීය කටයුතු පිළිබඳ සහකාර මහලේකම් මාටින් ග්‍රිෆිත් වෙත වීසා නිකුත් කිරීම ඊශ්‍රායලය දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.