සුනඛ මාංශවලට වැට බැන්ද රට

සුනඛ මාංශවලට වැට බැන්ද රට

සුනඛ මාංශවලට දකුණු කොරියාව වැට බැඳීමේ තීරණයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සඳහා වන නීතියක් අනුමත කර ගැනීමට තීරණය කර ඇති අතර, එම නීති 2027 වසරේ සිට ක්‍රියාත්මක වනු ඇත.

පසුගිය දශක ගණනාවක සිට සුනඛ මාංශ ආහාරයට ගැනීම දකුණු කොරියාව තුළ ජනප්‍රිය විය.

කෙසේ වෙතත් විදෙස් වාර්තා පවසන්නේ වර්තමානයේ සුනඛ මාංශ පරිභෝජනය සැලකිය යුතු ලෙස අවම වී ඇතත්, වැඩිහිටියන් අතර තවදුරටත් ප්‍රචලිත බවයි.

සිදුකළ සමීක්ෂණයක දී හඳුනාගෙන ඇත්තේ පසුගිය මාස 12 තුළ සුනඛ මාංශ පරිභෝජනය කළ පිරිස සියයට 8 ක් පමණ පහත අගයක පැවති බවයි.

2015 වසරේදී එම අගය 27% ලෙස පැවතිණි.

සුනඛ මාංශ තහනම් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් සත්ත්ව ආරක්ෂණ සංවිධාන සතුට පළ කර තිබේ.

දකුණු කොරියානු බලධාරීන් පවසන්නේ, ඉදිරි වසර 3 ක කාලය තුළ මස් පිනිස සුනඛයින් ඇති කරන ගොවිපොළවල්, මාංශ විකුණන ස්ථාන හා සුනඛ මාංශ ආහාර පමණක් සඳහා වෙන්වූ අවන්හල් වෙනත් ව්‍යාපාර සඳහා යොමුවිය යුතු බවයි.

එසේම නව ව්‍යාපාර ආරම්භ කිරීමට රජයේ සම්පූර්ණ සහාය ලබා දීමටත් කටයුතු කරන බව පෙන්වා දෙයි.

ඔවුන්ගේ එම සැලසුම් අදාල ප්‍රාදේශීය බලධාරීන් වෙත දැන්විය යුතු බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජයේ සංඛ්‍යා දත්ත අනුව දකුණු කොරියාව පුරා සුනඛ මාංශ, ආහාර ලෙස යපයන අවන්හල් 1,600ක් පමණ ඇති අතර ආහාර සඳහා සුනඛයන් ඇති කරන ගොවිපොළවල් 1,150ක් පමණ තිබේ.

මීට පෙර පැවති රජයන් ද සුනඛ මාංශ තහනම් කිරීමට උත්සාහ කලද, එම උත්සාහයන් අසාර්ථක විය.

කෙසේ වෙතත් වත්මන් ජනපති යුන් සුක් යෝල් හා බිරිඳ සතුන්ට දැඩි ලෙස ආදරය කරන බවත් ඔවුන් සතුව ද සුරතල් සුනඛයන් හය දෙනෙකු සිටින බවත් මාධ්‍ය වාර්තා කරයි.

සුනඛ මාංශ පරිභෝජනයට තිත තැබිය යුතුබවට ඔවුන් ද දැඩි මතයක වෙයි.

https://shorturl.at/clsvJ

COMMENTS