ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පොහොයෙන් අවසන්

ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පොහොයෙන් අවසන්

මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙට (23) එළඹෙන වෙසක් පොහෝ දිනෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවැසූහ.

ශ්‍රී පාද වන්දනා සමය අවසන් කරමින් ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පූජා භාණ්ඩ යුද හමුදාවේ සහාය සහ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැල්මඬුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීමට නියමිතය. ශ්‍රී පාද උඩමළුවේ අනිද්දා (24) දින දහවල් බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව ලක්ෂපාන සහ බගවන්තලාව මාර්ගය ඔස්සේ ගමන් කරන පෙරහරවල් දෙකක් ද උඩමළුවේ සිට පහළට ගමන් කරන බව ධම්මදින්න හිමියෝ සඳහන් කළහ.

සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පූජා භාණ්ඩ පැල්මඬුල්ල රාජමහා විහාරස්ථානය දක්වා වඩම්මවා අනිද්දා (24) දින රාත්‍රියේ පුරාණ චාරිත්‍රානුකූලව එහිදී දේව පූජාවන් පැවැත්වීමෙන් අනතුරුව 25 වැනි දින පස්වරුවේ පැල්මඬුල්ල රාජමහා විහාරස්ථානයේ සිට පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානය දක්වා පෙරහරකින් සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පූජා භාණ්ඩ වඩම්මවා ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තබන බව ද ධම්මදින්න හිමියෝ සඳහන් කළහ.

COMMENTS