වැසි-සුළං ආපදා හේතුවෙන් වූ මරණ ගණන 7ට නඟී

වැසි-සුළං ආපදා හේතුවෙන් වූ මරණ ගණන 7ට නඟී

පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රට තුළ ඇති වී තිබෙන ආපදා තත්ත්වයත් සමඟ පුද්ගල මරණ 7 දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එයින් මරණ 6 ක් ගස් කඩාවැටීම හේතුවෙන් සිදුව තිබෙන අතර, අනෙක් මරණය ඩිංගි බෝට්ටුවක් පෙරළී යෑමෙන් සිදුව තිබෙන බවද පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 171ක පවුල් 11610ක 43799 දෙනෙක් ඊයේ (24) පස්වරු 6.00 වන වි⁣ට බලපෑමට ලක්ව සිටි බවද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක අමාත්‍යංශයට අනුබද්ධ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කොළඹ පිහිටි හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැත්විණි. මෙහිදී දැනට ඇති වී තිබෙන ගස් කඩාවැටීමේ අවදානම් තත්ත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල වූ පුද්ගල සංඛ්‍යාව 11ක් වන අතර පූර්ණ නිවාස හානි 10කි. අර්ධ නිවාස හානි 2,645ක් වන අතර ඥාති නිවාසවල පවුල් 111ක් සිටිති. පුද්ගලයන් සංඛ්‍යාව 431කි. ආරක්ෂිත ස්ථාන 4ක පවුල් 51ක පුද්ගලයන් 188ක් සිටින අතර, පැවති ආපදා තත්ත්වයේ යම් අඩු වීමක් ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන බවද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මේ මොහොතේ ආපදාවට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීම සඳහා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, රාජ්‍යය දෙපාර්තමේන්තු, දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරී, සහන සේවා මධ්‍යස්ථානය නිලධාරීන් හා විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය එක්ව ගනු ලැබූ කඩිනම් ක්‍රියාමාර්ග, ඇමැතිවරයාගේ පැසසුමට ලක් විය.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා පසුගිය කාලසීමාවේ ගස් කඩාවැටීම්වල වර්ධනයක් නිරීක්ෂණය වී ඇති අතර, ඒ වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් විශේෂයෙන්ම ‘සුරකිමු’ වැඩසටහන යටතේ පාසල සහ පාසල් භූමි තුළ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය ප්‍රමුඛව ලබාදෙන්න කටයුතු කරන බවද අවධාරණය කළේය.

එමෙන්ම, මාර්ග දෙපස ගස් කඩාවැටීම් සංඛ්‍යාව ඉහළ අගයක තිබෙන බැවින් මේ තත්ත්වය පාලනය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග අධිකාරි සහ පළාත් පාලන ආයතනවල සහය අපේක්ෂා කරන බවත්, ගස් සිටුවීම සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් අනතුරුව විශේෂ කමිටුවක උපදෙස් මත ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට සහ ඒ අනුව මාර්ගය දෙපස සිටුවීමට සුදුසු ගස් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත් බලාපොරොත්තු වන බවත් සදහන් කළේය. අනාරක්ෂිත මෙන්ම අනවසර ඉදිකිරීම් හේතුවෙන් පහත්බිම්වල ඇතිවන ජල ගැලීම් තත්ත්ව පාලනය කිරීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ බොහෝ ප්‍රදේශවල වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. එනිසා ඇති විය හැකි ආපදා තත්ත්ව සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග සහ එහිදී අවශ්‍ය ප්‍රතිපාදන සලසාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස ඇමැතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය. තවද එවැනි හදිසි අවස්ථා පිළිබඳ අවධානයෙන් පසු වන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

COMMENTS