වෙලාව ආවම අපේක්ෂකයා කියන්නම්

වෙලාව ආවම අපේක්ෂකයා කියන්නම්

මැතිවරණ කල් දැමීමට සම්මාදම් වන සියලු දේශපාලන පක්‍ෂ විනාශ වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මැතිවරණ ගැන එක්සත් ජාතික පක්ෂයේ නායකයා එක කතාවක් ද එහි ලේකම්වරයා තවත් කතාවක් ද කියන බව ඔහු සඳහන් කළා.

නාමල් රාජපක්ෂ කොළඹදී විශේෂ රැස්වීමකට සහභාගිවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස මැතිවරණ කල්දැමීමට විරෝධය දක්වන බව කී නාමල් රාජපක්ෂ ඉතිහාසයේ සිටම මැතිවරණ කල්දැමූ පක්ෂ සහ ආණ්ඩු විනාශ වූ බව ද සඳහන් කළා.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මැතිවරණය වසර දෙකක් කල්දැමීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තුවේ ආසන අටට වැටුණ අතර මැතිවරණ කල්දැමූ රනිල් වික්‍රමසිංහ ගේ පක්ෂය එක ආසනයකට වැටුණු බවත් ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවත් රාජපක්ෂ පැවසුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්‍ෂකයකු සිටිය ද මේ මොහොතේ අපේක්‍ෂකයා හෙළි නොකරන බවත් වේලාව පැමිණි පසු අපේක්‍ෂකයා ප්‍රකාශ කරන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කළා.