විශ්‍රාම වැටුප බැංකු වෙත නිදහස් කරයි

විශ්‍රාම වැටුප බැංකු වෙත නිදහස් කරයි

ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව ඊයේ (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩවර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් 708,231කට අදාළ විශ්‍රාම වැටුප් දීමනාව මෙලෙස නිදහස් කර ඇති බවය.

ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිදහස් කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මේ සමග 99.5% ක පමණ පිරිසකට කිසිඳු ප්‍රමාදයකින් තොරව අදාළ දිනය වන ජුලි 10වන දින විශ්‍රාම වැටුප් දීමනාව හිමිවනු ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජුලි 08 සහ 09 දිනයන්හි සිය සේවා රාජකාරී සිදු නොකළ හෙයින් 13,000ක පමණ ඉතා සුළු පිරිසකට විශ්‍රාම වැටුප් දීමනාව හෙට 11 දින හිමිවනු ඇති බවද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.