ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා දිවි සැරිය නිමා කරයි

ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා දිවි සැරිය නිමා කරයි

ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 68ක්.

දරුවන් නව දෙනෙකුගෙන් යුතු පවුලක අට වැනියා ලෙස උපන් මානෙල්, ගල්කිස්සේ බෞද්ධ බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා.

වසර පහළොවක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය අද දිනයේ උදෑසන මහරගම පිළිකා රෝහලට ඇතුළත් වීමට සූදානමින් සිට තිබෙනවා.

1984 ජය සිකුරු චිත්‍රපටියෙන් සිනමා ගමන අරඹන ඇය ඉන් පසු චන්ඩියාගේත් චණ්ඩියා ,නැව ගිලුණත් බෑන් චූන්, නොම්මර 17, රන්දෙණිගල සිංහයා, යුක්තියට වැඩ, වලව්වේ හාමු ,ජය කොතනද, සේයා, ඩොක්ට නවරියන්, කොලොම්පූර්, ඔක්කොම හොඳටයි. ජීවන් මල්ලි, අලිබබා සහ හොරු හතළිහ, හෙලෝ මයි ඩාලින් වැනි චිත්‍රපට 58 කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා.

මෑතකදී තිරයට ආ “නෝනේ මගේ සුදු නෝනේ”, “සේයා”, “පුංචි අන්දරේ” වැනි චිත්‍රපටවල ඇය දායක වී ඇති බව සඳහන්.

දේහය දැනට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසාන කටයුතු (18) ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.