Mpox ආවොත් අපි ලෑස්තිද ?

Mpox ආවොත් අපි ලෑස්තිද ?

අප්‍රිකානු කලාපය තුළ ආරම්භ වුණු වඳුරු උණ, නැත්නම් Mpox කියන රෝගී තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් පැතිර යා හැකි සහ ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු කළ යුතු මහජන සෞඛ්‍ය ගැටලුවක් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

අප්‍රිකානු කලාපය තුළ පහුගිය අවුරුද්ද වන විට පහළොස් දහසකට ආසන්න ප්‍රමාණයක් රෝගයට ගොදුරු වී ඇති අතර හයසීයකට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම වෛද්‍යවරයා පැවසුවේ මීට අවුරුදු තුනකට පමණ පෙර කොවිඩ් 19 රෝගී තත්වය නිසා ඇති වෙච්ච අවස්ථාව හා සමාන අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව,

”එතකොට මන්කි ෆොක්ස් කියන රෝගී තත්ත්වයත්, වෛරස කාණ්ඩයෙන් මිනිසාට ඇතිවන රෝගී තත්ත්වයක්. එතකොට වඳුරන් සහ ඒ ආශ්‍රිත සතුන් මගින් ආරම්භයේදී රෝගය ඇතිවෙලා ඒ අදාළ කලාපවල ජීවත්වන ජනතාවට, සත්වයින් මගින් මේ රෝගය සම්ප්‍රේෂණය වුණාට පස්සේ, රෝගය වැළඳිච්ච පුද්ගලයන්ගෙන්, තවත් පුද්ගලයන්ට, සෘජු කිට්ටු ආශ්‍රය නිසා, රෝගය පැතිර යන බව සොයාගෙන තිබෙනවා. මේ වෛරසයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් හඳුනාගෙන තිබෙනවා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ රෝගී තත්වය ගෝලීය අනතුරක් බව ප්‍රකාශයට පත් කරාට පස්සේ අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම තමයි මේ අනතුරට කල්තියා සූදානම් වෙන එක. අපි දැක්කා මීට පෙර කොවිඩ් නයින්ටීන් රෝගී තත්වය ගැන කොරෝනා වෛරසය කියන අනතුරු ඇගවීම් අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් ආරම්භක අවස්ථාවේදී මේ තත්වය නොසලකා කටයුතු කිරීම නිසා වෙච්ච හානිය. අපි දන්නවා පහුගිය කාලෙදි අපේ රටේ සෞඛ්‍ය පද්ධතියේ බරපතල කඩා වැටීම් සිද්ධ වුණා. පහුගිය කාල සීමාව මුළුල්ලේ අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ සිදුවිය යුතු ධනාත්මක වෙනස්කම් සිද්ධ වුණේ නෑ. දැඩි සත්කාර ඒකක පහසුකම් වැඩිදියුණු වුණේ නෑ. රෝහල ඇඳන් පහසුකම් වැඩිදියුණු වුණේ නෑ. මේ මන්කිපොක්ස් රෝගී තත්වය මුල් අවස්ථාවේදී හඳුනාගැනීම සඳහා පී සී ආර් පරීක්ෂණය ඉතා වැදගත් වන නිසා, දැනට අවභාවිතා වන අතිවිශාල මුදලක් ගෙවලා ලංකාවට ගෙනල්ලා, ප්‍රයෝජනයට නොගන්නා, ඒ යන්ත්‍ර සූත්‍ර නිසි පරිදි ක්‍රියාත්මක කරලා, රෝගය රටට ඇතුලත් විය හැකි මර්මස්ථානවල සුපිරි වෛද්‍ය පරීක්ෂණ සහ අධීක්ෂණ කිරීම සඳහා උපදෙස් දීමේ වගකීමක් සෞඛ්‍ය අමාත්‍යංශය සතු වෙනවා. ඒ වගේම තමයි ජනමාධ්‍ය ඔස්සේ විශ්වාස කළ හැකි සෞඛ්‍ය පණිවිඩ ජනතාවට ලබාදීමේ වගකීමක් පවතිනවා.” යනුවෙන්

COMMENTS