කාලගුණ වෙනස නිසා ළමා හතිය වැඩි වෙලා

කාලගුණ වෙනස නිසා ළමා හතිය වැඩි වෙලා

මෙම දිනවල පවතින කාලගුණික හේතූන් මත ‘ළමා හතිය’ ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

වර්ෂාපතනයත් සමග රාත්‍රී කාලයේ සහ උදෑසන කාලයේ පවත්නා සීතල මෙම තත්ත්වයට හේතුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වය හමුවේ දරුවන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන ලෙසත්, ළමා හතිය වැළඳීමෙන් දරුවන්ව ආරක්ෂා කරගන්නා ලෙසත් දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ, රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින්.

ඒ අනුව ළමයින් අතර කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, රාත්‍රී කාලයේ පවතින කැස්ස වැනි ලක්ෂණ දිගටම පවතී නම් මෙය ළමා හතිය වශයෙන් හඳුනාගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බොහෝ විට ඉන්ෆ්ලුවෙන්සා රෝගයට පසුකාලීනව ද මාසයක් පමණ කැස්ස පවතින බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ, මින් පෙර හතිය වැළඳුණු අයට මෙන්ම මින් පෙර හතිය වැළඳී නොමැති අයට ද හතිය වැළඳිය හැකි බවත් ශීත කාලය සහ වර්ෂාව හේතුවෙන් තවමත් වෛරස් උණ පැතිරෙන තත්ත්වයක් ද දක්නට ලැබෙන බවයි.

එනිසා සීතලත් සමග දරුවන් එළිමහනට නොයවන ලෙසත්, ඒසේ යවන්නේ නම් සීතල ආවරණ ඇඳුමක් අන්දවා යවන ලෙසත්, අධික ශීතලෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට හිස් වැසුම් පළඳා යවන ලෙසත් වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මෙම දිනයන්හි කොළඹ ප්‍රදේශයේ ද උදෑසනට අධික සීතලක් පවතින බව පෙන්වා දුන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා, සීතලෙන් පමණක් නොව වෛරස් උණ රෝග හේතුවෙන් ද බොහෝ අයට හතිය වැළඳිය හැකි බවයි පවසන්නේ.

ඉන්ෆ්ලුවෙන්සාවලට පසුකාලීනව පපුව රිදිල්ල සහ උණ දිගටම පවතී නම් ක්ෂය රෝගය සම්බන්ධයෙන්ද කල්පනාකාරී වන ලෙස පවසන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මෙම දිනවල පවතින ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙහි රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි ලක්ෂණ මෙන්ම ඊට අමතරව වමනය සහ බඩ එළියේ යාමද දක්නට ලැබෙන බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මෙවැනි රෝග ලක්ෂණ පවතින දරුවන් මහජනතාව අතරට රැගෙන යාමෙන් වළකින ලෙසද, දුම්පානය කරන පියවරු සහ වැඩිහිටියන් නිවෙස්වල සිටී නම් දරුවන්ට ළමා හතිය වැළඳීමේ අවදානම වැඩි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

COMMENTS