ක්ලබ් වසන්ත ඝාතකයන්ගෙන් රඳවාගෙනම ප්‍රශ්න කරයි

ක්ලබ් වසන්ත ඝාතකයන්ගෙන් රඳවාගෙනම ප්‍රශ්න කරයි

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවකු හා ඔහුට ආධාර අනුබල දුන් දෙදෙනා ගැන තවත් තොරතුරු හෙළි වේ.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය වූ ස්ථානයේ තිබී සොයාගත් කේ.පී.අයි ලෙස සලකුණු කළ උණ්ඩවලට සමාන ලෙස කේ.පී.අයි ලෙස සලකුණු කළ ජීව උණ්ඩ 12ක් ද ඔවුන් සතුව තිබී සොයාගත්තා.

මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුලු සැකකරුවන් කිහිපදෙනෙකුම මීට පෙර අත්අඩංගුවට  ගත්තා.අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය මස ජූලි 8 වනදායි.

ඝාතන සිද්ධියෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ද ඉල්ලා සිටියා.

එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර වෙඩික්කරුවන්ට අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් බස්‍ රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා බව පැවසෙන 29 හැවිරිදි වරුණ ඉන්දිකද සිල්වා හෙවත් සංඛ නමැති සැකකරු ද ඊයේ අත්අඩංගුවට ගත්තා.

එමෙන්ම අදාළ සැකකරුවන් දෙදෙනාට දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නවාතැන් පහසුකම් ලබාදුන් 40 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් ඉම්රාන් නමැත්තෙක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වුණා.

මේ අතර ටී 56 ජීව උණ්ඩ 165ක්, මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 77ක්, විවිධ වර්ගයේ උණ්ඩ 17ක්, පොයින්ට් 38 වර්ගයේ උණ්ඩ 8ක්, බෝර 12 වර්ගයේ පතොරම් 4ක්ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.මෙතෙක් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කරනවා.

COMMENTS