පාස්පෝට් දෙන්න බැරි ජනාධිපති රට හදයි කියලා හිතන්න බෑ

පාස්පෝට් දෙන්න බැරි ජනාධිපති රට හදයි කියලා හිතන්න බෑ

පාස්පෝට් දෙන්න බැරි ජනාධිපති රට ගම හදයි කියා විශ්වාස කළ නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (30) නිකවැරටිය නගරයේ පැවැති ජනහමුවකදි.

දුගී දුප්පත්කම තුරන් කිරීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ බහුතරයක් ජනතාව මේ ආණ්ඩුවේ දුර්වල ප්‍රතිපත්ති නිසා අසරණ වී ඇති බවත් ජනතාව පැත්තකට දමා කෝටි ප්‍රකෝටිපතියන් රකින රජයක් ඇති බවත් මේ රජයට ගොවියාගේ වගා ණය කපා දමන්න බැරි වුණත් සමගි ජන බලවේග රජයක් තුළ මේ වගා ණය කපා දමන බව ඔහු කියා සිටියා.

රජයේ බැංකුවලට පොලු තිබ්බ කෝටිපතියන්ගේ නාමලේඛනය ඉදිරිපත් කරන්න කියා ජනාධිපතිවරයාගෙන් සහ මුදල් ඇමතිවරුන්ගෙන් ඇසුවත් ඔවුන් පිළිතුරු දුන් නැති බවත් මේ අයගේ ගජමිතුරු සම්බන්ධතා මත කෝටි ප්‍රකෝටි ගණන් ණය කපා හැරි ඇති බවත් ඔවුන්ගේ ණය කපා හරින්න පුළුවන් නම් ගොවියාගේ වගා ණයත් කපා හැරිය යුතු බවත් සමගි ජන බලවේගය සිටින්නේ සුපිරි පොහොසතා රකින්න නොව පොදුජනතාව ගොවි ජනතාව ධීවරයා, කම්කරුවා ඇතුළු පොඩි මිනිසා රකින්න බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා.

දුප්පත්කම තුරන් කරන්න ජනසවිය, අස්වැසුම, ගැමිදිරිය හා සමෘද්ධි වැඩසටහන් හි හොඳ ගුණාංග ගෙන මාස 24ක දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් දියත් කරන බවත් සදාකාලික දුප්පත්කමේ සිටින්න ජනතාව කැමති නැති නිසා දුප්පත්කමින් මිදෙන්න අවස්ථාවක් ලබා දෙන බවත් ඒ සඳහා සෑම මසකම රු. 20000ක මුදලක් දුප්පත් ජනතාවට ලබා දෙන බවත් පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය සහ අපනයනය සඳහා මෙම මුදල් ලබා දෙන බවත් මේ දුප්පත් පවුලට ලැබෙන ප්‍රතිලාභියා වන්නේ කාන්තාව බව ඔහු කියා සිටියා.

එමෙන්ම රටට සම්පතක් වූ රාජ්‍ය සේවය වෙනුවෙන් 24%ක වැටුප් වැඩි කිරීමක් මෙන්ම රු.17800 සිට 25000 දක්වා ජීවන වියදම් දීමනාව ලබා දීම, රු. 57500ක අවම වැටුපක්, 6% සිට 36% දක්වා ක්‍රියාත්මක බදු සූත්‍රය වෙනුවට 1-24% දක්වා රාජ්‍ය සේවකයන්ට සහ මධ්‍යම පන්තියට සහන ලැබෙන බදු සූත්‍රයක් නිර්මාණය කර මේ අය රකින බවත් පොලිස් සේවයේ නියැලෙන අයට රජය මාස 3කට බටා එකක් දුන්නත් එය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත් පොලිස් ක්ෂේත්‍රයේ නතර වී ඇති උසස් වීම් නැවත ලබා දෙන බව ඔහු අවධාරණය කර සිටියා.

මේ අතර කුඩු කාරයෝ සැප වාහනවල යන විට පොලිසියට ත්‍රිවිල් වල යාමට සිදුව ඇති බවත් එම නිසා ගෞරවාන්විත පොලිස් සේවාවක් ක්‍රියාත්මක කර මෙරට ආරක්ෂක අංශ තමන්ගේ රාජකාරි කටයුතු ක්‍රියාත්මක කිරීමත් එක තනතුරුට අදාළ විශ්‍රාම වැටුප ලබා දීමටත් කටයුතු කරන බවත් මෙරට අධ්‍යාපනයේ සිටින නිලධාරීන්ගේ වැටුප් විෂමතා ගැටලු විසඳන බවත් සමස්ත රාජ්‍ය සේවයට ම ශක්තිය ලබා දෙන බව ඔහු පවසනවා.

ගොවිතැනේ නියැලී සිටින ජනතාව වෙනුවෙන් ගුණාමකභාවයෙන් ඉහළ කිලෝ 50 පොහොර මිටිය රු. 5000ට ලබා දෙන බවත් රසායන තෙල් පොහොර දරාගත හැකි මිලකට ලබා දෙන බවත් කලුකඩ වෙළෙදාම නතර කර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙය ක්‍රියාත්මක කරන බවත් කිව්. ආර්. කොඩ් එක හරහා ත්‍රිරෝද රථ රියදුරන්ට, පාසල් ප්‍රවාහන සේවයේ නියැලෙන අයට, ගොවියාට, ධිවරයාට හා ශක්ති හාල් මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරය ලබා දෙන බව විපක්ෂනායකවරයා කියා සිටියා.

එමෙන්ම වීවලට සහතික මිලක් ලබා දෙන බවත් නාඩු, සම්බා, කීරි සම්බා, කැකුලු යනාදී හාල් සඳහා විශාල මිලක් තිබුණත් ගොවියාට සොච්චම් මිලක් ලැබෙන බවත් පාරිභෝගිකයාට අය කරන ඉහළ මිල නිසා මෙහි දූෂණයක් මාෆියාවක් ඇති බවත් මේ වී මාෆියාව නැති කර දමා ගොවි ජනතාව සුරකින යුගය බිහි කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පවසා සිටියා.

වැඩ බැරි කුහක කයිවාරු කාරයෝ මේවා කරන්න බැහැ කියන බවත් වැඩ බැරි කයිය නායකයොන්ට මේවා කරන්න බැහැ කිව්වත් තමාට එය කළ හැකි බවත් 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ බලයක් නොමැතිව වැඩක් කළ එක ම පක්ෂය වන්නේ සමගි ජන බලවේගය බවත් සක්වල හා හුස්ම වැඩසටහන් හරහා රු බිලියනයක සේවාවක් රටට සිදු කළ බවත් තමා මේවා කරන විට කයිය නායකයෝ කයිවාරු ගගහ සිටි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එම නිසා ඊර්ෂයාකාර, කුහක, වැඩබැරි කාරයොන්ට සවන් දෙන්න එපා යැයි ඉල්ලීමක් කරන බවත් අද වන විට රටේ ජනාධිපති ඡන්දෙ ඉල්ලුවත් ඔහුට පාස්පෝට් ටික දී ගන්න බැරිව ඇති බවත් පාස්පෝට් දෙන්න බැරි ජනාධිපති රට ගම හදයි කියා විශ්වාස කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජනතාවට කරදරයක්, හානියක් සිදුවන විට කම්පාවට ලක්වන විට කණගාටුවට ලක් වන විට ජනතාවගේ දුක සැපත බවට පත් කරන අහේනියට විසදුම ලබා දෙන විට මුලින්ම මතකයට එන්නේ කාගෙ නමද කියා සිතා බලන ලෙසත් ජනතාව රකින ජනතාවට පිහිටවන ජනතාව ජීවත් කරවන්නේ කවුද කියා හදවතින් විමසන ලෙසත් ජනතාවගේ දුකේදී ළඟ ඉන්න එකම හිතවතා වන්නේ සජිත් ප්‍රේමදාස වන තමා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

කයිය නායකයන්ගෙන් මෙන්ම ප්‍රභූ පැළැන්තිය වෙනුවෙන් පෙනී සිටින ටයි කෝටි කාරයොන්ගෙන්වත් විසදුම් නොලැබෙන බවත් ජනතාවට විසදුම් දෙන්නේ ජනතාව සමඟ සිටින සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

COMMENTS