ඡන්දෙට ගෙදර යන්න විශේෂ බස් රථ සේවාවක්

ඡන්දෙට ගෙදර යන්න විශේෂ බස් රථ සේවාවක්

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතාකිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා සියලු කටයුතු යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා පවසා සිටියේ, ඡන්දය භාවිතාකිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (20) දිනයේ අමතර දුර ගමන් සේවා බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ සේවකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යාම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවීමක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසුවේ සියලු ග්‍රාම නිලධාරින් ඒ සඳහා එක්වී ඇති බවය.

මේ අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලබා නොගත් ඡන්දහිමියන්ට අද සහ හෙට තමා පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ඒ්වා ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු එය ලබාගත හැකි බවය.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. එල්. ඒ. රත්නායක මහතා පැවසුවේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අත්‍යවශ්‍ය නොවන බවය.

COMMENTS