ජනපති අපේක්ෂකයන් ඡන්දය භාවිතා කරයි (Photos)

ජනපති අපේක්ෂකයන් ඡන්දය භාවිතා කරයි (Photos)

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

“මට ඡන්දය දෙන හැමෝටම ස්තූතියි. මේ පෝලීම දැන් මම ඇති කළේ. රට අස්ථාවර තත්ත්වයේ තිබුණා නම් අද අපිට ඡන්දෙ දෙන්න ලැබෙන්නේ නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම නතර කරන්න කියලා අපි පොලීසියට උපදෙස් දීලා තිබෙනවා.”

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස,

සමගි ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සාමයෙන්, මිත්‍රශීලීත්වයෙන් සහ එකමුතුකමින් කටයුතු කිරීම සැමගේම යුතුකම සහ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

“ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවමින් සාමයෙන්, මිත්‍රශීලිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව මේ මැතිවරණය කටයුතු ක්‍රියාත්මක කිරීම අප සැමගේම වගකීමක් හා යුතුකමයි”.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක,

ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මෙම මැතිවරණය පත්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ ස්ථාපනය කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

“මම හිතනවා ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මේ මැතිවරණය පත්වේවී. කාලාන්තරයක් තිස්සේ ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න, ආණ්ඩු මාරුකරන්න, නායකයෝ මාරුකරන්න ඡන්ද පවත්වලා තිබෙනවා. මම හිතනවා මේ මැතිවරණය ලංකා ඉතිහාසයේ ප්‍රබලතම හැරවුම් ලක්ෂයක් දෙන මැතිවරණය බව. ඒ වගේම ජයග්‍රහණයෙන් පසුව සියලුදෙනා සාමකාමි වන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදයේ ගතිලක්ෂණය තමයි, ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති දේශපාලන ව්‍යපාරයකට වැඩකරන්න, තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය ප්‍රකාශ කරන්න අයිතිය තිබෙනවා. ඒ අයිති අපි දිගටම ආරක්ෂා කළ යුතුයි.”

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ,

“ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ස්වෙච්ඡාවෙන් මැදිහත්වෙච්ච බොහෝ පිරිසක් නිසා ඉතාමත් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. අපි කරන්න බැරි ඒවා කියලා නැහැ, අපි බොරු කියලා නැහැ. මහත්තයා ඡන්දය ඉල්ලනවා නම් ඒකට නෝනයි, ළමයි අල්ලගෙන වැඩක් නැහැ. ඒ වගේම තමයි අපි බයේ පැනලා දුවන දේශපාලන බලවේගයක් නෙමෙයි. පැහැදිලිවම කියන්න ඕන, සමහර බොහෝ දේශපාලඥයන්ට වඩා ජනතාව බුද්ධිමත්”.