ශිෂ්‍යත්ව විභාගයේ ඇගයිම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ප්‍රශ්නපත්‍ර ඇගැයීම් කටයුතු සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඇය මේ බව ඊයේ (20) පැවසුවාය.
පරීක්ෂණ වාර්තාවන්ට අනුව නැවත විභාගය පැවැත්වීමට සිදුවුවහොත් විභාගය පවත්වන බවත් මේ විභාගය සම්බන්ධයෙන් දරුවන්ට කිසිදු අගතියක් වීමට ඉඩ නොතබන බවත් ඇය ප්‍රකාශ කළාය.
මේ විභාගයට අදාළ ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව පිළිබඳව ඉතාම කඩිනමින් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවත් විභාගය නැවත පැවැත්වීමට සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් ලේකම්වරිය ප්‍රකාශ කළාය.
පසුගිය 15 වැනිදා පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් ඉතාම විධිමත් ක්‍රමවේදයක් යටතේ පැවැත්වූ බවත් මෙම විභාගයට අදාළව කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් වැරදි සිදු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇය කියා සිටියාය.
අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, විද්වත් මණ්ඩලය එක්ව විභාගය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමට පවත්වන මෙම විභාගය මේ වන විට ඉතාම තරගකාරී විභාගයක්ව පවතින බවත් ඇය ප්‍රකාශ කළාය.
මෙම මාධ්‍ය හමුවට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද සහභාගී විය.