ශ්‍රී ලංකා පන්දු බල ඇණිය නවසීලන්තය අසරණ කරයි

ශ්‍රී ලංකා පන්දු බල ඇණිය නවසීලන්තය අසරණ කරයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (28) නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මෙය ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව හමුවේ නවසීලන්තය දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර, ගාල්ලේදී කණ්ඩායමක් දැවීගිය 04වැනි අඩුම ලකුණු සංඛ්‍යාවද විය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පළමු ඉනිම රැස්කළ ලකුණු 602ට වඩා ලකුණු 514ක් පසුපසින් සිටියි.

මෙහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රබාත් ජයසූරිය ලකුණු 42කට කඩුලු 06ක් බිඳ දැමීමට සමත් විය.

ප්‍රබාත්ට අමතරව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන නිශාන් පිරීස් ලකුණු 33කට කඩුලු 03ක් දවාගත්තේය.

නවසීලන්ත ඉනිමේ ඉහළම ඉනිම වූයේ මිචෙල් සැන්ට්නර් රැස්කළ ලකුණු 29 පමණි.

මෙලෙස නවසීලන්තය ලකුණු 88කට සීමාකිරීම සැලකෙන්නේ, ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් පිටියේදී ප්‍රතිවාදී කණ්ඩායමක පළමු ඉනිම වැඩිම ලකුණු පරතරයක් සහිතව දවාගත් දෙවැනි හොඳම අවස්ථාව ලෙසය.

ශ්‍රී ලංකාව ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් සහිතව ප්‍රතිවාදී කණ්ඩායමක පළමු ඉනිම අවසන් කර ඇත්තේ ලකුණු 587ක් ඉදිරියෙන් සිටියදීය.

ඒ 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවති තරගයකදීය.

එමෙන්ම මෙය ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඕනෑම කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයක් සහිතව ප්‍රතිවාදී කණ්ඩායමක් පළමු ඉනිමේදී දවාගත් 5වැනි හොඳම අවස්ථාවද විය.

COMMENTS