බතික් කර් මාන්තය සඳහා ප්‍රමිතිකරණ පද්ධතියක්

බතික් කර් මාන්තය සඳහා ප්‍රමිතිකරණ පද්ධතියක්

දේශීය බතික් කර්මාන්තයේ ගුණාත්මක බව ඉහළ නංවා ගෝලීය වශයෙන් පිළිගැනීමක් ලබාදීම අරමුණු කරගනිමින් බතික් කර්මාන්තකරුවන් සඳහා ප්‍රමිතිකරණ පද්ධතියක් හඳුන්වා දීමට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මෝස්තර මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ ජාතික විද්‍යා පදනමේ සහයෝගීතාව ඇතිව බතික් කර්මාන්තය සඳහා “විධිමත් නිෂ්පාදන ක්‍රියාපිළිවෙත්” (Good Manufacturing Practice) – GMP ප්‍රමිතිකරණය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් හඳුන්වා දී තිබෙන්නේ.

මෙම “විධිමත් නිෂ්පාදන ක්‍රියාපිළිවෙත්” (Good Manufacturing Practice) – GMP ප්‍රමිතිකරණය පිළිබඳව බතික් කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුබැද්ද පිහිටි ජාතික මෝස්තර මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

බතික් කර්මාන්තය සඳහා මෙවැනි ප්‍රමිතිකරණ පද්ධතියක් හඳුන්වා දීම මගින් බතික් නිෂ්පාදන කෙරෙහි දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකය විශ්වාසය වැඩි කළ හැකි අතර කර්මාන්තය ආශ්‍රිත වැඩබිම් හා නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රමවත් අයුරින් පවත්වාගෙන යාමටත් , එමගින් කාල කළමනාකරණය කර ගැනීමට හා නිෂ්පාදන ඵලදායිතාව වැඩිකර ගැනීමට හැකියාව ලැබෙනවා.

එසේම තම කර්මාන්තය විධිමත් ලෙස පවත්වා ගැනීම තුළින් ආයෝජකයින් හා ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට බතික් කර්මාන්තකරුවන්ට අවස්ථාව උදා වන අතර එම නිෂ්පාදන විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීමේදී එයට අමතර වටිනාකමක්ද එකතු කළ හැකිවෙනවා.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, බතික් නිෂ්පාදන සඳහා දේශිය වශයෙන් මෙන්ම විදේශියවද ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බවත් පවතින ඉහළ විදේශිය ඉල්ලුම සැලකිල්ලට ගනිමින් බතික් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් ඉහළ අපනයන ආදායම් ලබාගත හැකි වන බවයි.

තවද මෙම කර්මාන්තය සඳහා Good Manufacturing Practice – GMP වැනි ප්‍රමිතිකරණයන් ලබා ගැනීම වැදගත් වන බවත් උසස් තත්වයෙන් යුත්, ප්‍රමිතිකරණලත් නව්‍ය නිර්මාණ විදේශිය වෙළඳපළ වෙත ඉදිරිපත් කිරීමට අපගේ බතික් කර්මාන්තකරුවන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ශාන්ත වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සේපාලි සුදසිංහ, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ජාතික විද්‍යා පදනම, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගලුම් ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය යන ආයතන වල නිලධාරීන්, බතික් කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.

COMMENTS