ජනපති වැලිකඩ බන්ධනාගාරයට ආවේ නෑ – වීඩියෝවට එරෙහිව පැමිණිල්ලක්

ජනපති වැලිකඩ බන්ධනාගාරයට ආවේ නෑ – වීඩියෝවට එරෙහිව පැමිණිල්ලක්

වැලිකඩ බන්ධනාගාරය පිළිබඳ අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා කරුණු දක්වා තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ බවට වන වීඩියෝවක් පසුගිය 15 වැනි දින යූටියුබ් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණි.

මේ පිළිබඳ කරුණු දක්වමින් බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ මෙය අසත්‍ය වීඩියෝවක් බවය.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් මෑත කාලයේ වැලිකඩ බන්ධනාගාරය හෝ වෙනත් කිසිදු බන්ධනාගාරයක නිරීක්ෂණ සංචාරයක් සිදුකර නොමැති බවත් වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය සම්බන්යෙන් කිසිදු විමසීමක්ද කර නොමැති බවද ඔහු පැවසීය.

ඔහු පැවසුවේ බන්ධනාගාර ක්‍රියාවලිය තුළ දෛනිකව රැඳවූවන් සඳහා ආහාර ලබාදීමේදී සලාක ලබා ගැනීමේ සිට නේවාසිකයින්ට ආහාර ලබාදීම දක්වා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවන බවත් එය ආයතන ප්‍රධානීයාගේ අධීක්ෂණයටද ලක්වන බවය.

එමෙන්ම පිසින ලද ආහාර නේවාසිකයින්ට ලබා දීමට ප්‍රථම දෛනිකව බන්ධනාගාර අධිකාරීවරයා විසින් එම ආහාර ගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ආහාර ලබා දීම සිදුකරන බවද ඔහු පැවසීය.

කොමසාරිස්වරයා පැවසුවේ බන්ධනාගාර ආයතන තුළ යම් පටිගත කිරීමක් හෝ දර්ශන ලබාගන්නේ නම් ඒ සඳහා බන්ධනාගාර මූලස්ථානය මගින් විශේෂ අවසරයක් ලබාගත යුතු අතර මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන ලබා ගැනීමට කිසිදු මාධ්‍ය ආයතනයක් මගින් අවසර ලබා ගෙන නොමැති බවත් ඒ සඳහා රූගත කිරීමක් ද සිදුව නොමැති බවය.

ඒ අනුව මෙම පුවත හා සම්බන්ද දර්ශන සියල්ලම වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය හෝ වෙනත් කිසිදු බන්ධනාගාරයක් තුළ රූගත කළ දර්ශණයක් නොවන බවද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව එකී යූටියුබ් නාලිකාව මගින් සිදුකර ඇති අසත්‍ය කරුණු හේතුවෙන් ජනාධිපතිවරයා හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපහසුතාවට හා අපකීර්තියට ලක් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මේ වන විට පැමිණිළි කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.