පාස්පෝට් එක අලුත් වුණ හැටි (Photos)

පාස්පෝට් එක අලුත් වුණ හැටි (Photos)

මාස කිහිපයක් පුරා පැවති විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුව සමතයකට පත් කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබෙනවා.

නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් කොට ඇති අතර එය නිල් පැහැයෙන් යුක්තයි.

එමෙන්ම පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විතයි.

නව විදේශ ගමන් බලපත්‍රයේ P අංක භාවිතා කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ N අංකයයි.

තවද නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූප වලින් සමන්විතව තිබෙනවා.

යාපනය නල්ලූර් කෝවිල, ඓතිහාසික ගාල්ල ලන්දේසි කොටු පවුර, ශ්‍රී දළදා මාලිගාව, කොළඹ නෙළුම් කුළුණ, , පොළොන්නරුව ඓතිහාසික ස්ථාන, රිටිපන්න ධීවර කර්මාන්තය, ආරැක්කු නවයේ පාලම, සීගිරිය, තේ වගාව, රබර් කිරි කැපීම, හා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන සහ මෙරට සංස්කෘතිය විදහාපාන සාම්ප්‍රදායික කර්මාන්තවල ඡායාරූප වලින්ද නව විදේශ ගමන් බලපත්‍රය සමන්විතයි.

මේ වනවිට ඇණවුම් කර ඇති විදෙස් ගමන බලපත්‍ර 75,000 ක ප්‍රමාණයක් ඉදිරියේදී අවසන් වන බැවින් යළිත් බලපත්‍ර අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති හෙයින් එය යථා තත්ත්වයට පත් කිරීම සදහා ටෙන්ඩර් පටිපාටියකට අනුව තවත් පාස්පෝට් තොගයක් ගෙන්වීමටයි පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩලයේදී තීරණය වූයේ.

පැවති රජයේ මෙම විෂයභාරව කටයුතු කළ හිටපු අමාත්‍ය ටිරාන් අලස්ගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මේ වන විට බෙදාහැරීමට කටයුතු කරන විදෙස් ගමන් බලපත්‍ර මෙරටට ලැබී ඇත්තේ පසුගිය රජය විසින් ගනු ලැබූ තීරණයක් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස බවයි