ආරුගම්බේ ප්රහාරයට සැරසුණු තවත් පිරිසක් ගැන තොරතුරු හෙළිවෙයි
රට තුළ සිටින ඊශ්රායල ජාතිකයන් වෙත ප්රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනකු පිළිබඳ තොරතුරු හෙළි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්රාත් පසාන් අමරසේන මහතාට ඊයේ (28) දැනුම් දුන්නේය.
ආරුගම්බේ ප්රදේශය මුල් කරගෙන ත්රස්ත ප්රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් රඳවාගෙන ප්රශ්න කළ අවස්ථාවේ මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් කිහිපදෙනකු පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව ත්රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම සැකකරුවන්ට අදාළව ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්රස්ත විමර්ශන කොට්ඨාසය විශේෂ මෝසමක් ගොනු කර මහේස්ත්රාත්වරයාගෙන් අවසර ඉල්ලීය. මෙම සිද්ධියට අදාළ සියලු විමර්ශන කටයුතු කිරීමටත් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටත් මහේස්ත්රාත්වරයා එම අවස්ථාවේදී නියෝග කළේය. ඉදිරිපත් වූ තොරතුරු අනුව සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ විමර්ශන ආරම්භ කළ බවත්, සැකකාර පුද්ගලයන් තිදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් කළ ත්රස්ත විමර්ශන කොට්ඨාසය සැකකරුවන් රහස් පොලිසියේ රඳවා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ත්රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු හා විශේෂ වාර්තාව සලකා බැලූ අතිරේක මහේස්ත්රාත්වරයා අදාළ ඉල්ලීම්වලට අවසර ලබා දෙමින්, වාචිකව ඉදිරිපත් කළ කරුණු විමර්ශන ගොනුවේ සටහන් කර තැබීය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම සැකකරුවන් පිළිබඳ දීර්ඝ පරීක්ෂණයක් පවත්වාගෙන යන ලෙසට ද නියෝග කළේය.