ඡන්ද මධ්‍යස්ථාන වෙනුවෙන් විහාරස්ථාන 2,263ක්

ඡන්ද මධ්‍යස්ථාන වෙනුවෙන් විහාරස්ථාන 2,263ක්

මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස විහාරස්ථාන 2,263ක් යොදා ගැනීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විහාරාධිපතිවරුන් බහුතරයකගේ කිසිදු අකමැත්තක් නොමැති බව‍යි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

කඨින පිංකම් පැවැත්වීම හේතුවෙන් ඊට යම් බාධාවන් එල්ලවිය හැකි බවට විවිධ පාර්ශව මත පළකර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් හරහා විහාරස්ථානවලින් විමසීමක් සිදුකළ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මෙසේ පවසනවා.

“2024 නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කර තිබෙනවා. ඒ අනුව නියමිත පරිදි නොවැම්බර් මාසයේ 14 වෙනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙනවා.

ඒ වගේම කඨින පිංකම් පැවැත්වෙන නිසා ඡන්ද විමසීම බාධාවක් බවට යම් සංවිධානවලින් පැමිණිලි සහ අදහස් පළ වුණා. ඒ නිසා සියලුම දිස්ත්‍රික්වල තේරීම්භාර නිලධාරීන් මඟින් අදාළ විහාරස්ථානවල හිමිවරුන්ගෙන් මේ ගැන කැමැත්ත විමසුවා. විහාරස්ථාන 2,203ක විහාරාධිපති හිමිවරු කැමැත්ත පළ කරලා තියෙනවා. කඨින පිංකම් නිසා විහාරස්ථාන 45ක සහ වෙනත් හේතු මත විහාරස්ථාන 15කුත් ඡන්ද මධ්‍යස්ථාන විදියට යොදා ගැනීමේ හැකියාවක් නෑ. එම ස්ථානවල තිබුණ ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථානවලට මාරු කළා.”

මේ අතර මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ හෙට (06) දින සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන්.

COMMENTS