චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත්කර නැහැ – විජිත හේරත්

චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත්කර නැහැ – විජිත හේරත්

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩුකිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.

“දැනට හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියලා තිබුණා එතුමියගේ ආරක්ෂාව ඉවත්කරනවා කියලා. එහෙම ඉවත් කිරීමක් කරලා නැහැ. එතුමිය ලිපියක් එවලා තිබුණා 30ක් දක්වා අඩුකරනවා කියලා ඒක වැරදියි. එතුමියට දැනටත් 57 දෙනෙක් දීලා තිබෙනවා.”

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම විශ්‍රාමික ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් වැඩිම තර්ජන තිබෙන්නේ තමාට බවත් ඝාතන උත්සාහයකට ලක්ව තුවාල ලැබූ එකම ජනාධිපති තමා බවත් හිටපු ජනපතිනිය සිය ලිපියෙන් තවදුරටත් පෙන්වා දෙනවා.

COMMENTS