ජනපති අනුර ආස වුණාට, මම කොටුවේ බෝඩ් අල්ලන් ඉන් නෑ

ජනපති අනුර ආස වුණාට, මම කොටුවේ බෝඩ් අල්ලන් ඉන් නෑ

නොවැම්බර් 14 වැනිදාට පසු තමා කොටුව දුම්රියපොළ අසලට ගිහින් බෝඩ් එකක් අල්ලාගෙන සිටිනවා දකින්නට කැමති බව අනුර ජනාධිපතිවරයා පවසා තිබු නමුත් ඔහු වගේ බෝඩ් අල්ලන්න බලාපොරොත්තුවක් නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයින් වෙනුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාගේ රාජකාරිය වී තිබෙන්නේ අනෙක් අයට දෝෂාරෝපණය කිරීම සහ මඩගැසීම පමණක් බවත් එදා රාජපක්ෂලත් ක්‍රියා කළේ මේ අනුව බවයි.

එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ අදහස් පල කළා

“පාර්ලිමේන්තුව හොර ගුහාවක් යැයි මේ අය දැන් කියනවා.ඔවුන්ගේ මහ මැතිවරණයේ තේමාව පාර්ලිමේන්තුව සුද්ද කරමු යන්නයි.අයි.එම්.එෆ් ගිවිසුමට කරන්නේ කුමක්ද? ප්‍රධාන කාරණය එයයි.ඕනෑම පාර්ලිමේන්තුවක අඩුපාඩු දුර්වලකම් තිබෙනවා.නමුත් ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට 1931 සිට ක්‍රියා කළ එකම පාර්ලිමේන්තුව වන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවයි. අපට ජාත්‍යන්තර පිළිගැනීමක් තිබෙනවා.පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්නේ ජනාධිපති විතරයි. අප හොරු අල්ලන්නට ක්‍රියා කරනවා නම් මේ වැඩ කටයුතු සියල්ල කළ යුතුව තියෙනවා.එසේ නොකරනවා නම් එය දේශපාලන වාසියට යොදාගන්නා සටන් පාඨයක් පමණයි. මාධ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී ඇඳුම් අන්දනවා යැයි ජනපති මෙන්ම ඇමතිවරයාද දැන් පවසනවා.සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මාධ්‍ය නිදහස නැතිවන බව කිව්වේ මේ මාලිමාවයි.දැන් මේ අලුතින් ඇඳුම් සෙට් එකක් මහන්න හදන්නේ මොකක්ද?මාලිමාවට ඊට අයිතියක් නැහැ .මාධ්‍යයේ අඩුපාඩුකම් නැතැයි මා කියන්නේ නැහැ. මාධ්‍යයේ තිබෙන අඩුපාඩුකම් අප නීතියෙන් විසඳාගත යුතුයි.එක්සත් රාජධානියේ මෙන් අදාළ කොමිෂන් සභා ඇතිකොට ඒවාට මේ සම්බන්ධයෙන් විභාග කරන්නට බලය ලබාදීම වැනි කාරණා කළ හැකියි. මා එකක් කියන්න කැමතියි.මාධ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් අන්දන්න පෙර කරුණාකර ඒ ඇඳුම් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට අන්දන ලෙස මා විශේෂයෙන්ම කියන්න කැමතියි” යැයි වැඩිදුරටත් කියා සිටියා.

COMMENTS