මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු‍ම ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

එහෙත් අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සදහා අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ.

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 2,348 ක් එම කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබෙනවා.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සිදු කරන ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අනිද්දා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා සහභාගී වන ආසියානු රටවල මැතිවරණ කොමිෂන් සභාවල නියෝජිතයින් පිරිසක් හෙට දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත වනවා.

යුරෝපා සංවිධානය ඇතුලු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් දැනටමත් දිවයිනට පැමිණ සිටින අතර තවත් පිරිසක් ඉදිරියේදී පැමිණීමටයි නියමිතව ඇත්තේ.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා තම සංවිධානයේ නියෝජිතයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශය කිරීමට පැමිණීමේදී ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන්ට ඉදිරිපත් කළ යුතු වලංගු අන්‍යනයතා ලේඛන 09 ක් පිළිබදව මැතිවරණ කොමිෂන් සභාව යළි දැනුම් දෙනවා.

ඒ අනුව ජාතික හැදුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය හෝ රාජ්‍ය සේවා විශ්‍රාමික හැදුනුම්පත යන ලේඛනවලින් එක්ක රැගෙන යාම අනිවාර්යයි.

මීට අමතරව වැඩිහිටි හැදුනුම්පත, පූජ්‍ය, පූජ්‍යක හැදුනුම්පත, ජාතික හැදුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය මෙන්ම කොමිෂන් සභාව නිකුත් කරනු ලබන තාවකාලික හැදුනුම්පත හෝ ආබාධිත තැනැත්තන් සදහා නිකුත් කරනු ලබන තාවකාලික හැදුනුම්පත රැගෙන යාමේන් ද ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වනවා.

මෙම හැදුනුම්පත් 09 අතරින් කවර හෝ එකක් ඉදිරිපත් නොකළහොත් ඡන්ද මධ්‍යස්ථානයෙදී ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව යළි අවධාරණය කළේ.

පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් සියලු විශ්ව විද්‍යාල ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා දෙදින තුළ වසා තැබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දුන්නා.

මේ අතර, සිය කාර්ය මණ්ඩල හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි නිවාඩු ලබා දීමට ක්‍රියා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලින් ඉල්ලීමක් කළා.

එසේම, උසස් පෙළ උපකාරක පන්තිවලට සහභාගී වන සිසුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා නොවන පරිදි පන්ති යොදා ගැනීමට කටයුතු කරන ලෙස සියලුම උසස් පෙළ උපකාරක පන්තිවල කළමනාකරුවන් හා ගුරුභවතුන්ගෙන් ඉල්ලා සිටින බවයි එම කොමිෂන් සභාව නිවේදනය කළේ.

2006 වසරේ මැයි 31 වන දිනට පෙර උපන් වයස අවුරුදු 18 සම්පූර්ණ වන තරුණ ඡන්ද හිමියන්ගේ නම්ද ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී ඇති බැවින් මෙම ඉල්ලීම සිදු කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ එම නිවේදනයේ සදහන්.

COMMENTS