IMF තුන්වැනි වාරිකය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය වැඩසටහන යටතේ තුන්වැනි ඇගයීම සම්බන්ධයෙන් කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණි බව මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා අද (23) ප්‍රකාශ කළේය.
කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ IMF විධායක අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය මුදලේ සිව්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් මුදා හැරෙනු ඇති බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා ඊයේ (22) ජනාධිපති කාර්යාලයේදී පැවති අතර ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම සහභාගි වුණි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තෙවැනි සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා,
“අප ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාව සඳහා වන සිව්වස් විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගයීම සඳහායි. අප ශ්‍රී ලංකා බලධාරීන් මෙන්ම පුළුල් පරාසයක පාර්ශ්වකරුවන් සමග සාකච්ඡාවල නිරත වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ සංවර්ධන සහකරුවන් සමග ද අප එලෙස සාකච්ඡා කළා. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදියට අප ශ්‍රී ලංකා බලධාරීන් සමග කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණි බව සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.”
“වසර 4ක විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගයීම සඳහා ඇතිවූ එම කාර්යමණ්ඩල එකඟතාවට IMF කළමනාකාරීත්වයේ සහ විධායක අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග කිහිපයක් සම්පූර්ණ කළ යුතුයි. 2025 අයවැය යෝජනාවලිය IMF වැඩසටහනේ ඉලක්කයන්ට අනුකූලවීම එවැනි එක් ක්‍රියාමාර්ගයක්.”
“IMF විධායක අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු සිව්වැනි වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක පමණ මුදලක් මුදාහැරෙනවා. ඒ අනුව විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට හිමිවන මුළු මුදල් ඩොලර් බිලියන 1.3 ඉක්මවනවා.”