විදුලි ගාස්තු අඩු කිරීම මේ වසරේ සිදු නොවන ලකුණු
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
එම මණ්ඩලය යෝජනා ඉදිරිපත් කිරීමට දෙවැනි වරටත් සති දෙකක කාලයක් ඉල්ලා සිටීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් එම යෝජනා අධ්‍යයනය කර විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රියාවලියට සති හයත් අටත් අතර කාලයක් ගතවන බවත් එම නිලධාරියා කීය.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් මස අග එම කොමිසමට ඉදිරිපත් කළ ද එහි විදුලි ගාස්තු අඩුවීම ප්‍රමාණවත් නොවන බැවින් යළි එම යෝජනා සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවත් එම නිලධාරියා කීය.
අදාළ යෝජනා මෙම මස 8 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණ ද එම දිනයට යෝජනාවලිය ඉදිරිපත් නොකළ නොහැකි යැයි ද දන්වා තිබීමෙන් මේ මස 22 වැනිදා දක්වා කාලය දුන් බවත් ඉන් පසුව තවත් සති දෙකක කාලයක් දෙන ලෙස විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
එම සති දෙකෙන් ද පසුව දෙසැම්බර් මස 6 වැනිදා යෝජනා ලැබෙනු ඇතැයි එම කොමිසම විශ්වාසර කරන බවත් එදින විදුලිබල මණ්ඩලය යෝජනා ඉදිරිපත් කළ ද විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසර දක්වා කල්යනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය