CT ස්කෑන් යන්ත්‍රයට මහනුවර රෝහලේදී ගෞරවාන්විත සමුදීමක්

CT ස්කෑන් යන්ත්‍රයට මහනුවර රෝහලේදී ගෞරවාන්විත සමුදීමක්

පුරා වසර 18ක් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් පිරිසකගේ රෝග නිධාන සොයා දෙමින් දහස් සංඛ්‍යාත වෛද්‍ය සිසුන්ට තම වෘත්ති දැනුම ලබා ගැනීමට මහෝපකාරී වූ CT ස්කෑන් යන්ත්‍රයක විරල සමුගැනීමක් මහනුවර ජාතික රෝහලෙන් අද (06) වාර්තා විය.

මහනුවර ජාතික රෝහලේ විකිරණ විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය ගංගානාත් රුද්‍රිගු මහතා පැවසුවේ 2006දී මෙම යන්ත්‍රය මහනුවර රෝහලට ලැබුණු අතර එවකට එහි වටිනාකම රුපියල් මිලින 8කට ආසන්න වූ බවයි.

මෙම යන්ත්‍රය මගින් මහනුවර මෙන්ම දිවයිනේ නොයෙක් ප්‍රදේශවල රෝගීන්ගේද රෝග නිශ්චය කිරීම සඳහා මෙම යන්ත්‍රය මහත් උපකාරී වූ බවත් වෛද්‍යවරයා පැවසීය.

මෙම යන්ත්‍රය වසර ගණනාවක් සේවය සැපයීමෙන් පසුව ඉවත් කිරීමට කටයුතු කිරීමේදි කෘතගුණ දත් පිරිසක් ලෙස මෙම යන්ත්‍රයට ගෞරවාන්විත සමුදීමක් සිදු කිරීමට තීරණය කළ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

ඒ සඳහා මෙම යන්ත්‍රය ලැබුණු දා සිට එහි කටයුතු කළ දැනට විශ්‍රාම සුවයෙන් සිටින වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය හා මෙම යන්ත්‍රයේ කටයුතු කළ අනෙකුත් නිලධාරීන්ද සම්බන්ධ කරගත් බවත් ඔහු පැවසුවේය.

මෙම අවස්ථාවට එක්වෙමින් මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ මෙම යන්ත්‍රය යකඩ ගොඩක් වුවද ජනතාව වෙනුවෙන් කරන ලද සේවය අගය කිරීම වඩාත් වැදගත් බවය.

ඒ අනුව මේ සඳහා ගෞරවාන්විත සමුදීමක් ලබා දීම සම්බන්ධව තමන් විකිරණ විද්‍යාංශයේ සියලුම දෙනාටම ස්තූතිවන්ත වන බවත් ඇය පැවසුවාය.

මෙම සිටී ස්කෑන් යන්ත්‍රය ඉවත් කිරීමට ප්‍රථමයෙන් එම යන්ත්‍රයෙන් වැදගත් කොටස් දිවයිනේ වෙනත් රෝහල් කරා ලබා දීමට කටයුතු කර තිබේ.

මෙම සමුදීමේ අවස්ථාවේදී විකිරණ අංශයේ සේවයේ නියුතු ප්‍රධානීන් ඇතුළු සියලු සේවක සේවිකාවන් විසින් මල් කළඹ යන්ත්‍රය මත තබා ගෞරව දක්වනු ලැබීය.