ලොව ලාබාලතම චෙස් ශූරයා ඉන්දියාවෙන්

ලොව ලාබාලතම චෙස් ශූරයා ඉන්දියාවෙන්

ලෝක චෙස් ක්‍රීඩාවේ 18වැනි ලෝක ශූරයා ඊයේ ඉන්දියාවෙන් බිහිවිය.

ඔහු නමින් ගුකේෂ් ඩී.

ගුකේෂ් ඩී ඉතිහාසයට එක්වන්නේ ලෝක චෙස් ශූරතාවය හිමි කර ගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙසයි.

2024 චෙස් ලෝක ශූරතාවලිය සිංගප්පූරුවේ සත්කාරකත්වයෙන් පැවැත්විය.

ඒ, චෙස් ලෝක ශ්‍රේණිගතකිරීම්හී නම් දරා සිටින ප්‍රබල ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙනි.

මෙවර ලෝක ශූරයා තීරණය වන අවසන් තරගය ලෙස ශූරතාවලියේ 14වැනි තරගය ඊයේ පැවැත්විය.

එම තරගයට සුදුසුකම් ලබා ගත්තේ පසුගියවර චෙස් ලෝක ශූරතාවය හිමිකර ගත් චීනයේ ඩිං ලිජන් සහ 18 හැවිරිදි ඉන්දීය ක්‍රීඩක ගුකේෂ් ඩී.

ගුකේෂ් ඩී. චෙස් ලෝක ශ්‍රේණිගත කිරීම්හී 5වැනි ස්ථානයේ රැඳී සිටි අතර ඩිං ලිජන්ට හිමිව තිබුණේ 23වැනි ස්ථානයයි.

තීරණාත්මක අවසන් තරගයේ ආරම්භය ලබා ගත්තේ ලෝක ශූර ඩිං ලිජන්.

නමුත් ඔහු නොසිතූ ලෙස ප්‍රතිවාදී ගුකේෂ් ඩී. වෙනස් චලන අනුපිළිවෙළක් අනුගමනය කළේය.

ගුකේෂ්ගේ ක්‍රීඩා විලාසය සමග ලෝක ශූර ඩිං ලිජන්ට සිය කිරුළ රැක ගැනීම අභියෝගයක් බවට පත්විය.

ඩිං ලිජන් තරගය අත්නොහැර සුපුරුදු ක්‍රීඩා රටාවට පිවිසියේ සිය අතීත අත්දැකීම් තම ප්‍රතිවාදියා හමුවේ ප්‍රදර්ශනය කරමිනි.

අවසන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙතැයි බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව බවට පත්ව තිබුණා.

55වැනි වටයේදී ඩිං ලිජන්ගෙන් සිදුවූ අතපසුවීම පූර්ණය කළ නොහැකි වූ අතර එහි වැඩි වාසිය හිමි වුයේ ගුකේෂ්ට යි .

අනතුරුව වට 58ක් අවසානයේ තරගයේ ජය ලකුණු 7.5ට 6.5ක් ලෙස සටහන් කරමින් ලොව ලාබාලතම චෙස් ලෝක ශූරයා ලෙස ඉන්දීය ක්‍රීඩක ගුකේෂ් ඩී. එහෙමත් නැත්නම් ගුකේෂ් දොම්මරාජු සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

COMMENTS