හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන් ද යොදවා සිටින බැවින් ඒ මහතාගේ ආරක්ෂාව කිසිදු අයුරකින් බිඳවැටී නැති බව නිරීක්ෂණය වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක කටයුතු ආවරණය කිරීම සඳහා අනියුක්ත කර සිටින පොලිස් නිලධාරීන්ගේ වැය බර වාර්ෂිකව රුපියල් මිලියින 1100 ක් වන බවයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 326 කට අධික වැය බරක් දරණ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙන්වා දෙනවා.
වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි දක්වා ඇති විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම යන ප්‍රතිපත්තිමය තීරණයට අනුව කටයුතු කරමින් රජය විසින් ප්‍රභූ ආරක්ෂාව සදහා නිලධාරීන් අනියුක්ත කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.
එම කමිටුව මගින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක තක්සේරු වාර්තා සහ ඒ සඳහා පොලීසිය දරණ වැය බර සමාලෝචනයට ලක් කර ඇති බවයි.
ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සදහා ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 ක් දක්වා සංශෝධනය කළ පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.
එම සංඛ්‍යාවට අමතරව කමිටුව රැස්වී වරින් වර තක්සේරු වාර්තා කැඳවා නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට හෝ වැඩි කිරීමට තීරණය කරනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ සේවාවල සාමාජිකයින්ද යොදවා තිබෙනවා.
සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා දැනටමත් නිලධාරීන් 24,000 කගේ පමණ අඩුවක් පවතිනවා.
එමෙන්ම මෙයට පෙර ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ හා අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි නිලධාරීන් 2000 කට අධික පිරිසක් ඉන් ඉවත් කර සාමාන්‍ය පොලිස් රාජකාරී සඳහා අනියුක්ත කර තිබෙනවා.
එමෙන්ම අමාත්‍යවරුන් හෝ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමක් සිදුකර නොමැති බවයි සඳහන් වන්නේ .
මෙලෙස ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදාව ඇති නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීම මගින් අපරාධ මර්දනය ඇතුළු අනිකුත් රාජකාරී සඳහා ප්‍රාදේශීය පොලිස් ස්ථානවලට ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ගැනීමට හැකි වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.