රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතිනවා
අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මඟින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (20) දිස්ත්‍රික් ලේකම්, දිසාපති සමුළුව අමතමින්.
ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සිට දිස්ත්‍රික් ලේකම් දක්වා තනතුරු නාම වෙනස් වූ මෙම සේවය වසර 200ක් පමණ පැරැණි බවත්, අපේ රට නව දිශානතියකට යොමු කිරීම සඳහා එමඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.
එහෙත් අවසාන අරමුණ හා ඉලක්කය පිළිබඳ වත්මන් තත්ත්වය සෑහීමකට පත් විය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනයකින් සාධාරණ සේවයක් ලබා ගැනීම පිළිබඳ ජනතාව තුළ කිසිදු විශ්වාසය නොමැති බවත් රාජ්‍යක් ලෙස මුළු පද්ධතියම බිඳ වැටී ඇති බවත් පැවසුවා.
එසේ බිඳ වැටී ඇති පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සූදානම්ද නැද්ද යන්න අප විසින් අපගෙන්ම විමසා බැලිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.
ජනවරමේ අපේක්ෂාවන්ට දේශපාලන අධිකාරිය පමණක් නොව රාජ්‍ය සේවයද වගවිය යුතු මෙන්ම වගකිව යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නා.
තමන්ට ඇත්තේ රාජ්‍ය සේවයේ තිබෙන පුටු පිළිබඳ ප්රශ්නය නොවන බවත් පුටුවක අසුන් ගන්වන්න ඉන්නේ කවුද යන්න පමණක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
ලෝකයේ සිදු වන වෙනස්කම් උකහා ගනිමින් ඒවා ගලපා ගනිමින්, තම ක්ෂේත්රයට නායකත්වය දෙමින් ජයග්‍රහණය සඳහා මෙහෙය වීමට සමත් වන පුටුවල හිස්කමක් ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ නිසා නිලධාරීන් 1500ක් පමණ ඉන්දියාවේදී පුහුණුව ලබා දීමට පසුගිය ඉන්දීය සංචාරයේදී එකඟ වූ බව පැවසුවා.
එසේම එළඹෙන වසරේදී උසස් පෙළ සමත් වන සිසුන් සැලකිය යුතු ප්‍රමාණයකට විදේශ අධ්‍යාපනය ලබා දීමට රජයේ ශිෂ්‍යත්ව ලබා දීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කියා සිටියා.
සමහර ආයතන මෙන්ම තනතුරු පවා ගොඩනැඟුණේ කුමන පදනමකින්ද යන්න ගැටලුවක් බවත්, අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව පැවසූ ජනාධිපතිවරයා, මේ සඳහා නව ව්‍යුහයක් අවශ්‍ය වනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට නව කමිටුවක් පත් කළ බවද, දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.
කිසිසේත්ම රාජ්‍ය සේවය කප්පාදු කිරීමට බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුව තිබෙන බැවින් එක් අධිෂ්ඨානයක සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්රණයකට ගෙන ආ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.
මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන අධිකාරිය ලෙස සිය උපරිම දායකත්වය ලබා දෙන බවත් මෙම කර්තව්‍ය සාර්ථක වන්නේ රාජ්‍ය නිලධාරීන් ඊට දක්වන දායකත්වය මත බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ජන වරමේ අපේක්ෂාවන් 80%ක්ම පෙන්වා ඇත්තේ රාජ්‍ය සේවකයන් බැවින් දේශපාලන අධිකාරියේ කාර්යයන්ට සිය කැමැත්ත, අනුමැතිය ලබා දී ඇති බවත් මෙම ද්විත්වය පරස්පර කණ්ඩායම් දෙකක් නොවන සමපාත කණ්ඩායම් දෙකක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
ඒ අනුව දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය සේවයේ අපේක්ෂාවත් අරමුණත් එකට සමපාත වී තිබෙන බව පසුගිය ජනවරමින් පෙන්නුම් කර ඇති බවත් දෙපාර්ශ්වයම එකඟ වූ කාර්යයක් අප හමුවේ ඇති බවත් ප්‍රකාශ කළා.
එසේම ජනතාව සම්බන්ධ ව්‍යාපෘතිද යළි සමාලෝචනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා.
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කරන බවත්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය නව වසරේ ජනවාරි 01 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.
අපේ රට නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් දුප්පත්භාවය තුරන් කිරීම, ඩිජිටල්කරණය, සමාජය ආකල්පමය වශයෙන් පරිවර්තනය කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා යන ක්ෂේත්‍ර තුන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
එම කාර්යය ඉටු කිරීම සඳහා වැඩ කිරීමේදී යම් නිලධාරිකු අපහසුතාවකට, අයුක්තියකට, අසාධාරණයකට ලක් වන්නේ නම්, තමා එම පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යම් නිලධාරියකු එම කාර්යයන් කඩාකප්පල් කිරීමට, හිතාමතා අතපසු කිරීමට කටයුතු කරන්නේ නම් එයටද ඒ හා සමානව ක්‍රියාත්මක වන බවද පැවසුවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර යන මහත්ම මහත්මීන්, දිසාපතිවරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.