ඇමති හඳුන්නෙත්ති නමින් සිදුකරන මුදල් වංචාවක් පිළිබඳව CID යට පැමිණිල්ලක්
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (24) දහවල් කොළඹ අපරාධ පරීක්ෂණ මූලස්ථානය වෙත පැමිණ තමන් නමින් සිදුකරන මුදල් වංචාවක් පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා .
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ලෙස හඳුන්වා ගත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රජා සත්කාරක සේවා සඳහා යැයි පවසමින් මුදල් ලබාගන්නා බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇති බව පවසමින් සුනිල් හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ මූලස්ථානයට සාක්ෂි සහිතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වන්නේ .
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පැවසුවේ,
මහජන නියෝජිතයෙක් මෙන්ම වගකිවයුතු අමාත්‍යවරයෙක්ද වන තමා වැනි අයව පවා භාවිතා කරමින් මෙවැනි වංචාවන් නොබියව සිදුකරන පසුබිමක සාමාන්‍ය පොදු මහජනතාව මෙවැනි වංචාකරුවන්ගේ ඉලක්ක බවට පහසුවෙන්ම පත්වීමේ හැකියාවක් පවතින බවයි .
නීතිය සැමටම පොදු බවත් දැනට ලංකාවේ ක්‍රියාත්මක නීතිය මෙවැනි වංචාකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට ප්‍රමාණවත් බවත් පැවසූ අමාත්‍යවරයා තමාට මෙන්ම මෙවැනි වංචාවන්ට හසුවූ අනෙකුත් අය වෙනුවෙන්ද නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව තමා විශ්වාසය තබන බව ප්‍රකාශ කර තිබෙනවා .
එසේම ජනවාරි 5 දින Zoom තාක්ෂණය ඔස්සේ ජන හමුවක් මෙම වංචාකරුවන් විසින් සංවිධානය කර ඇති බවට මේ වන විට ප්‍රචාරය වන අතර එවැනි ජන හමුවක් තමා හෝ තම පක්ෂය විසින් සංවිධානය කර නොමැති අතර තමා නමින් මුදල් ඉල්ලන මෙවැනි වංචාකරුවන් හට මුදල් ලබාදීමෙන් වළකින ලෙස සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා .