ශ්‍රී ලංකා දුම්රිය සේවයට අදට වසර 160යි

ශ්‍රී ලංකා දුම්රිය සේවයට අදට වසර 160යි

මෙරට සමාජ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සැපයූ ප්‍රමුඛතම ප්‍රවාහන සේවාවක් වන දුම්රිය සේවය ආරම්භ කර වසර 160ක් සපිරෙනවා.

160 වසරක ඉතිහාසය තුළ බොහෝ නොමැකෙන සටහන් තැබීමට ශ්‍රී ලංකා දුම්රිය සේවයට හැකිවී තිබෙනවා.

1864 වසරේ දෙසැම්බර් 27 වනදා ඉංග්‍රීසීන්ගේ පාලනය යටතේ මෙරට දුම්රිය සේවාව ආරම්භ කෙරුණේ භාණ්ඩ ප්‍රවාහනයට මුල් තැන දෙමින්.

එදා කොළඹ සිට අඹේපුස්ස දක්වා පළමු දුම්රිය ධාවනය කරමින් දුම්රිය සේවාවේ ආරම්භය සනිටුහන් කෙරුණා.

තේ හා රබර් නිෂ්පාදන කොළඹට ප්‍රවාහනය කිරීම අරමුණු කරගනිමින් ආරම්භ වූ මෙරට දුම්රිය සේවාව ක්‍රමයෙන් විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වුණා.

දුම්රිය සේවාවෙන් සිදුවන ආර්ථික පාඩුව පිළිබඳ සැලකීමට වඩා එයින් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය නිසි ලෙස ගණනය කිරීමක් සිදුකර නොමැති තරම්.

වසරකට මගී ප්‍රවාහනය සඳහා දුම්රිය කිලෝමීටර් කෝටි 700කට වඩා ධාවනය කිරීමෙන්ම ඒ බව තහවුරු වනවා.

මෙම සේවාව බස්රථ මගින් ලබාදුනහොත් ඒ වෙනුවෙන් අමතර ඩීසල් ලීටර් කෝටි තුනයි දශම හතක් වසරකට වැය වන බවට විශේෂඥයන් ගණන් බලා තිබෙනවා.

මේ අනුව ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අධ්‍යයනය කිරීමෙන් දුම්රියෙන් සිදුවන සේවාව තක්සේරු කළ හැකියි.

මෙරට දුම්රිය සේවාවට වසර 160ක් පිරීම සිහිපත් කරමින් චාම් උත්සවයක් පැවැත්වුණා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පිරිත් සඡ්ඣායනාවක් පැවැත්වීමෙන් අනතුරුව මෙරට පළමු දුම්රිය ගමනේ අවසානය වූ අඹේපුස්ස දක්වා දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ගමන් කළා.

ඒ කොළඹ කොටුවෙන් පෙරවරු 9.45ට ගමන් ආරම්භ කර බදුල්ල බලා ධාවනය වන දුම්රියෙන්. අඹේපුස්ස දුම්රිය ස්ථානයේදීද විශේෂ ආගමික වැඩසටහනක් සංවිධාන කර තිබුණා.

COMMENTS