මාධ්‍යට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නැහැ

මාධ්‍යට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නැහැ

මාධ්‍යට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීයි.

හමුව පැවැත්වුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීය.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ අදහස් සහ යෝජනා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමත් ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමත් අරමුණු කරගනිමින් එම සංගමය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.

එහිදී එම සංගමයට බලපාන්නා වූ දැනට කෙටුම්පත් කර ඇති පනතක් සහ ක්‍රියාත්මක වන පනත්වල යම් යම් අඩුපාඩු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

මෙහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, මාධ්‍ය සහ රජය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි.

රජය ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසි ලෙස මෙහෙයවීමේ වගකීම ඉටු කරන බවත්, මාධ්‍යයට වාරණ පැනවීමට රජයට කිසිදු අදහසක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

මෙරට ජනමාධ්‍ය අමාත්‍යාංශය වගකීමක් නැති අක්‍රීය තැනක් බවට පත්කර ඇති බැවින් ජනමාධ්‍ය අමාත්‍යාංශය නිසි තැන තැබීම වර්තමාන රජයේ මුලික අරමුණක් වන ඔහු පැවසුවේ ය.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නිලධාරීන්, මාධ්‍යට නිදහසේ සහ ස්වාධීනව කටයුතු කළ හැකි පරිසරයක් සකස් කරමින් මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට ක්‍රියාකරන්නැයි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ය.