සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩුකිරීමට අනුමැතිය

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩුකිරීමට අනුමැතිය

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩුකිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීහු ගෙන එනු ලැබූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා .

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර එමගින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දන්වා තිබෙනවා .

මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙදින කාරක සභාව හමුවේ 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය යටතේ අංක 2400/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත නියෝගයක්, 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත 3 (4) වගන්තිය යටතේ අංක 2399/16 දරන පත්‍රයේ පළ කර ඇති නියෝගයක්, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්‍ර 06ක පළකර ඇති නියෝග 06ක් සහ ,2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අංක 2415/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනයක් සලකා බැලීම සිදුකර තිබෙනවා .

ඒ අනුව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය යටතේ අංක 2400/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබෙන බවයි සඳහන් නියෝගය පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා .

ඒ යටතේ අපනයන සංවර්ධන සඳහා පනවනු ලබන සෙස් බද්ද ඔස්සේ ලැබෙන අදායම ඍජුව අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම සුදුසු බව කාරක සභා සභාපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම හම්බන්තොට වරාය ඉදිකිරීමේදී මතුවූ කලුගල් අපනයනය කිරීම සඳහා පනවා තිබූ බදු මුදල අඩු කිරීමේ යෝජනාවටද කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා .

ඒ අනුව එම කළුගල් මෙට්‍රික් ටොන් මිලියන එකක් අපනයනය කිරීමේදී කියුබික් මීටර එකක් සඳහා රුපියල් දහසක බදු මුදලක් අය කර තිබෙනවා .

තවද 2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අංක 2415/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනයක් සලකා බැලීම ද මෙහිදී සිදුකර තිබෙනවා .

එහිදී මේ වසර අවසන්වන තෙක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබාදීමට නියමිත ප්‍රතිලාභ සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය.

එහිදී අන්ත දිළිඳු පවුල් සඳහා ලබාදෙන රුපියල් පහළොස් දහසේ දීමනාව රුපියල් දාහත් දහස් පන්සියය දක්වාත්, රුපියල් අටදහස් පන්සියයක් ලබාදෙන පවුල් සඳහා රුපියල් දස දහසක් ලබා දීමටත් ,රුපියල් දෙදහස් පන්සියයක් ලබාදෙන පවුල් සඳහා රුපියල් පන්දහසක් ද රුපියල් පන්දහසක් ලබාදෙන
පවුල් සඳහා එම දීමනාව නොවෙනස්ව ලබාදීමටත් කාරක සභාවේ අනුමැතිය හිමි වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ .

එමෙන්ම 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 (4) වගන්තිය යටතේ අංක 2399/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති කොළඹ වාරායේ බටහිර පර්යන්තය සම්බන්ධයෙන් වූ නිවේදනය සඳහා කාරක සභාවේ අනුමතිය හිමි නොවූ අතර අංක 2401/19 දරන
අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මඩකලපුව ප්‍රදේශයේ ඉදිකෙරෙන ඇඟලුම් කර්මාන්තශාලාවක් සම්බන්ධයෙන් වන නියෝගය ද නැවත කාරක සභාව තුළ සලකා බැලීමට තීරණය වී තිබෙනවා .

තවද වලංගු කාලසීමාවන් දීර්ඝ කිරීමටත්,බදු අඩුකිරීමත් වෙනුවෙන් 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ඉදිරිපත් කල අතිවිශේෂ ගැසට් පත්‍ර 06ක පළකර ඇති නියෝග 06ක් කාරක සභාවේ දී සලකා බලා අනුමතිය ලබා දෙන බව සඳහන් කර සිටිනවා .

මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වී තිබෙනවා .

COMMENTS