පසුගිය වසරේ පාරිභෝගික අධිකාරියෙන් වෙළෙඳසැල්වලට පැනවූ දඩ
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රුපියල් මිලියන 207කට අධික දඩ මුදල් ප්‍රමාණයක් පසුගිය වසරේ සිදු කළ වැටලීම්වලින් වෙළෙඳසැල් සඳහා නියමකර තිබේ.
මහේස්ත්‍රාත් අධිකරණ මගින් අදාළ දඩ මුදල් නියම කර ඇත්තේ, නඩු පැවරීම් 23,953ක් සඳහායි.
එමෙන්ම දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පවරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.
අදාළ වැටලීම්වලදී උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සඳහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, ලකුණු කළ මිල වෙනස් කර වෙනත් මිලක් සඳහන් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, විදුලි උපාංග සඳහා වගකීම් කාලයක් ලබා නොදීම, තොග සඟවා තබා ගැනීම, විධිමත් බිල්පතක් ලබා නොදීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත උල්ලංඝණය කරමින් වෙළෙඳුන් විසින් සිදුකරන ලද වැරදි සළකා ඇතැයි සඳහන්ය.
අදාළ වැටලීම්වලදී ආහාර වර්ග, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඖෂධ, ගොඩනැගිලි ද්‍රව්‍ය, විදුලි උපකරණ ඇතුළු විවිධ පාරිභෝගික භාණ්ඩ ආවරණය කර තිබු අතර එහිදී වැඩිම වැටලීම් ප්‍රමාණයන් කර ඇත්තේ සහල් සම්බන්ධවයි.
එහිදී සුපිරි වෙළෙඳසැල්, ආපනශාලා, ඖෂධ අලෙවිසැල්, නිමි ඇඳුම් වෙළෙඳසැල්, ජංගම දුරකතන හා විදුලි උපාංග අලෙවිසැල්, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැල් හා රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් ප්‍රධාන වශයෙන් විමර්ශනයට ලක් කර තිබේ.
මේ වසරේදීත් පාරිභෝගිකයින් විසින් සිදුකර ඇති පැමිණිලිවලට කඩිනමින් පියවර ගන්නා බවත් උපායදූතයන් මගින් වෙළෙඳුන් විසින් සිදු කරන වැරදි හඳුනාගෙන නීතිමය පියවර ගන්නා බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේ ය.