ගාසා තීරයේ සටන් විරාමයට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය
ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
පැය 6ක පමණ රැස්වීමකින් අනතුරුව, කැබිනට් අමාත්‍යවරුන්, හමාස් සංවිධානය සමග ගිවිසුම්ගත වීමට සිය අනුමැතිය ලබාදුන් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනය කළේ ය.
ඒ අනුව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හෙට සිට ආරම්භ වනු ඇති.
යුද්ධය අවසන් කිරීමේ පළමු අදියර ලෙස සැලකෙන මෙම සටන් විරාමය හරහා, සති හයක කාලයක් තුළ ගාසා හි රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු සහ ඊශ්‍රායල බන්ධනාගාර වල රඳවා සිටින සියළුම පලස්තීන කාන්තාවන් සහ දරුවන් නිදහස් කෙරුණු ඇති.
කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද අලුයමද, ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් පලස්තීනුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.
ඒ අනුව සටන් විරාමය පිළිබඳව නිවේදනය කෙරුණු පසුගිය බදාදා දිනයේ සිට මේ දක්වා මියගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 119ක් දක්වා ඉහළ ගියේ ය.
ඊජිප්තුව සහ අමෙරිකාවේ මැදිහත්වීමෙන් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර පැවති සාම සාකච්ඡා වලින් පසු මෙම සටන් විරාමය පිළිබඳව නිවේදනය කෙරිණ.
නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙරේදා ප්‍රකාශ කළේ , හමාස් සංවිධානය විසින් ඇතැම් කොන්දේසි වෙනස් කිරීමට උත්සහ දරණ බැවින් ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම කල් දමන බවයි.
විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ, ඊයේ රැස්වුණු කැබිනට් මණ්ඩලය දීර්ඝ සාකච්ඡාවකින් පසු අද අලුයම ඊට අනුමැතිය ලබා දී ඇති බවයි.