වීවල සහතික මිල සංශෝධනය සඳහා කමිටුවක්
වීවල සහතික මිල සංශෝධනය සඳහා කමිටුවක් පත් කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.
එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, එම කමිටුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ හා පර්යේෂණායතනය පසු අස්වනු තාක්ෂණ ආයතනය වැනි ආයතන කිහිපයක නියෝජිතයින්ගෙන් සමන්විත බවය.
වී වගාව සඳහා යොදා ගන්නා යෙදවුම් මිල ගණන් පිළිබඳ සාමාලෝචනයක් මෙම කමිටුව හරහා සිදු කෙරෙනු ඇති.
ඉන් අනතුරුව මෙවර වී මිලදී ගන්නා සහතික මිල තීරණය කරන බව වී අලෙවි මණ්ඩලය ප්රකාශ කළේ ය.
පසුගිය යළ කන්නයේ නාඩු වී කිලෝග්රෑම් එකක් රුපියල් 105ක සහතික මිලකටත් සම්බා වී කිලෝග්රෑම් එකක් රුපියල් 115 කටත් කීරි සම්බා වී කිලෝග්රෑම් එකක් රුපියල් 130 කටත් මිලදී ගැණුනි.
මේ අතර වී අලෙවි මණ්ඩලය පැවසුවේ, මහ කන්නයේ වී අස්වනු ගබඩා කිරීම සඳහා මේ වනවිට ගබඩා සූදානම් කර ඇති බවයි.
මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම ලබන මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද එම මණ්ඩලය ප්රකාශ කළේ ය.