රාජ්‍ය සේවකයින්ට සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක්

රාජ්‍ය සේවකයින්ට සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක්

පුරවැසියාට අයිතියක් වන ලෙස හා රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙසත් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.

පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (26) පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා.

ලබන ජූනි මාසය වන විට රාජ්‍ය සේවයේ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, රාජ්‍ය සේවය සතු දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් මෙන්ම විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේ.

රාජ්‍ය සේවය ශක්තිමත් කරන අතර රාජ්‍ය සේවයේ පිරිවැය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

රාජ්‍ය සේවය තුළ මේ වන විට නිර්මාණය වී ඇති අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000ක පමණ ප්‍රමාණය කඩිනමින් බඳවා ගැනීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරුණු අතර ඊට අදාළ මුදල් වෙන්කිරීම සඳහා මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව ද මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බව සඳහන්.

තාක්ෂණික ක්‍රමවේද නිසා සම්මුඛ පරීක්ෂණ ප්‍රමාද විය හැකි පුරප්පාඩු සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා වූ අතර ඒකාබද්ධ රාජ්‍ය සේවයක් මගින් මානව සම්පත කළමනාකරණය කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, වාරිමාර්ග, කෘෂිකර්මාන්ත, වන අලි ගැටලු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

එමෙන්ම “City Branding” ක්‍රමවේදය භාවිතා කර අනුරාධපුර නගරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

COMMENTS